නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය තුළ කලහකාරී ලෙස හැසිරී රෝහලේ සේවකයන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු යුද හමුදාවේ හිටපු මේජර්වරයකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි.
සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගතකිරිම සදහා නුවරඑළිය ප්‍රදේශයට පැමිණ බීමත්ව බිම වැටි තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි ඇත. එම අවස්ථාවේ රෝහලේ සේවකයකු විසින් තුවාල ලබා සිටි මේජර්වරයා රෝහලට ඇතුළත් කර ගැනීමේදී ඔහුට ගරු නොකළ බව පවසමින් සැකකාර මේජර්වරයා රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ ගැන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂවරයා නුවරඑළිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන රෝහලේදීම ප්‍රතිකාර ලබාදිමට කටයුතු කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ බමත්ව බිම වැටි තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකු සමඟ බහින්බස්වීමක් සිදු වී ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය තමන්ටද මේජර්වරයා බව කියන පුද්ගලයා පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත්ය.
අත්අඩංගුවට ගත් මේජර්වරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.