මෑත කාලයේ ඇතිවුණු සංවිධානාත්මක අපරාධ සිද්ධීන්, එයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන්නේද? යනාදී කරුණු කාරණා සේම පොලීසියට එල්ල වන චෝදනා මෙන්ම කාලීන සමාජ වටපිටාව පිළිබඳව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමඟ කළ සාකච්ඡාව මෙසේ දක්වමු.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් පරිහානියට පත්වෙලා
සමාජ පද්ධතියම පරිහානියට ගියාම පොලීසිය විතරක් ඉතිරි වෙන්නේ නෑ
ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් එල්ල වී නෑ
මෑත කාලයේ ඇතිවුණු සංවිධානාත්මක අපරාධ සිද්ධීන්වලට අදාළව විවිධ මත පළ වෙනවා. ඒ ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?
පොදුවේ දැනට අපරාධ කණ්ඩායම් 52ක් පිළිබඳ තොරතුරු තියෙනවා. ගොඩක් අය ඩුබායිවල ඉන්නෙ. වෙනත් රටවල සිට ක්‍රියාත්මක වෙන අයත් ඉන්නවා. එහෙව් අයගෙන් පස්දෙනෙකු පමණ ලංකාවට ගෙන්වාගෙන තියෙනවා. ඉතුරු අය සම්බන්ධයෙනුත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දැනුම්දීම් කරගෙන යනවා. පාතාලය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් අපරාධ හෝ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගවල අවසන් ප්‍රතිඵලය කෙටි කාලයක් තුළ ලබා ගැනීම අසීරුයි. එයට හේතුව කාලයක් තිස්සේ නිර්මාණය වුණු ආර්ථික, සමාජ, දේශපාලනික වටපිටාව තුළ මේ රට අපරාධකරුවන්ගේ දේශයක් බවට පත්වෙලා තියෙන්නෙ. දවසකට 9 දෙනකු පමණ සියදිවි හානි කර ගන්නවා. දවසට 7-8 දෙනකු ලිංගික අපයෝජනයට ලක්වෙනවා. ගම දක්වාම මත්ද්‍රව්‍ය පැතිරී තිබෙනවා. මත්ද්‍රව්‍ය සෙවීමට පාසල් දරුවන්ගේ බෑග් අවුස්සන්න වෙලා තියෙනවා නම් ඒකෙන් තේරෙන්නේ කොයිතරම් නම් පරිහානියක් කරා අපි ගමන් කර ඇත්ද යන්නයි.
මේ දිනවල සිදු වන සියලුම වෙඩිතැබීම්වල සිටින්නේ ආමි එකෙන් පලාගිය අයයි. පොලීසියේ යම් යම් අයත් සම්බන්ධයි. ගණේමුල්ල සංජීව සිද්ධියට පොලිස් නිලධාරීන් දෙන්නෙක් සම්බන්ධයි. මිද්දෙණියේ කජ්ජා නමැති අය ඝාතන සිදුවීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සම්බන්ධයි. ඒ කියන්නේ සිදු වන බොහෝ සිදුවීම්වලට පොලීසියේ යම් යම් සම්බන්ධතා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතන පවා කොතරම් දුරට පරිහානියට පත්වෙලාද කියලා මෙයින් තේරෙනවා. සමාජ පද්ධතියම පරිහානියට ගියාම එක තැනක් විතරක් ඉතුරු වෙන්න විදිහක් නෑ. එක්තරා හමුදා කඳවුරකින් ටී.56 ගිනිඅවි 78ක් එළියට ගිහින් තියෙනවා. එයින් දැනට අපට සොයා ගැනීමට හැකිවී ඇත්තේ 35ක් විතරයි. තව 33ක් සමාජයේ කල්ලි කණ්ඩායම් අත තියෙනවා. එහෙව් රටක තමා පාතාලය මර්දනය ගැන අපට කතා කරන්න වෙන්නෙ.
මෑත කාලීන සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙන බවට ඇතැමුන් චෝදනා කරනවා. ඒක එහෙමද?
ජාතික ආරක්ෂාව කියන්නෙ පුළුල් සංකල්පයක්. ඒක ආහාර සුරක්ෂිතතාවයේ සිට ත්‍රස්තවාදය දක්වාම අදාළයි. ජාත්‍යන්තර වශයෙන් සිදු වන බලපෑම් පවා අයිති වෙන්න පුළුවන්. ඒ නිසා මේවායින් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් එල්ලවී නැති බව පැහැදිලියි. දැනට රට අභ්‍යන්තරයේ තියෙන්නේ ගණේමුල්ල සංජීවගේ හා කෙහෙල්බද්දර පද්මේ යන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙක අතර පවතින ගැටුමයි. මේ ගැටුම පවා හුදෙක් හුදකලා පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් නොවෙයි. ඊට එහා ගිය යම් සංවිධානාත්මක පිරිසකගේ බලපෑමත් සමඟින් සිදු වන දෙයක් හැටියට අපට සැක කරන්න පුළුවන්. නිශ්චිතව තහවුරු කිරීමේ තොරතුරු නැතත් සාධාරණ සැකයක් මතුවීමට තරම් කරුණු තියෙනවා. මේවා එකවර උත්සන්න වෙන්නේ ඒකයි. එහෙම කීවා වුණත්, පෙර අවස්ථා සමඟ සංසන්දනාත්මකව බැලුවාම වැඩි වර්ධනයක් දකින්න නොලැබෙන බවත් කිව යුතුයි. ඒත්, සමාජය තුළ අපරාධ රැල්ලක් තියෙන බවට හුවා දැක්වීමක් තියෙනවා. ඒක වැඩි වශයෙන් මතු කරන්නේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්. සමහර මාධ්‍ය ආයතන ආණ්ඩුවට පහර ගසා තම පටු දේශපාලන න්‍යාය පත්රයන් ක්‍රියාත්මක කරද්දී මේ සිදුවීම් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් කියලා හුවා දක්වන්නට උත්සාහ කරනවා. අපි කිසිදු ජීවිතයක වටිනාකම ලඝු කර දක්වන්නෙ නෑ. හැම ජීවිතයක්ම වටිනවා. හැබැයි මිද්දෙණියේ ඝාතනයේදී කුඩා දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම හැර සිදු වුණු සෑම ඝාතනයකටම ගොදුරු වූයේ මේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ජාලයට සම්බන්ධ අයයි. මිද්දෙණියේ කජ්ජා නමැති පුද්ගලයා වුණත්, පාතාලයට සම්බන්ධ කෙනෙක්. ඔහුට තර්ජන තියෙන බව ඔහු දැනගෙන හිටියා. ඒ ගැන කල්තියාම අනතුරු ඇඟවීම් හෙළි කරලා තිබුණා. ඒ නිසාම ඔහු සිතන්නට ඇත්තේ දරුවන් දෙදෙනා එක්ක ගියාම අනතුරක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි කියලයි. ඒ නිසාම ඉඩ ලද හැම අවස්ථාවකම ඔහු ගමන් ගිහින් තියෙන්නේ දරුවන් දෙදෙනා එක්කමයි. වෙන විදිහකට කියනවා නම් තමන්ගෙ දරුවො ප්‍රාණ ඇපකරුවන් හැටියට තියාගෙනයි. ඒ හැර සිදු වූ සිදුවීම්වලින් මිය ගියේ පාතාලයට යම් යම් සබඳතා තිබුණු අය මිස සාමාන්‍ය පුරවැසියන් නොවෙයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විමර්ශන නිසි ලෙස ඉටු නොවෙනව නම් නැවත පාරට බහින්නට සිදු වන බව කාදිනල් හිමියන් පවසා තිබුණා. ඒ චෝදනා ගැන ඔබේ අදහස කුමක්ද?
අපි සාධාරණව යුක්තිට ඉටුකරන්නට කළ හැකි දේ උපරිමයෙන් කරනවා. ඒ නිසා කාටවත් පාරට බහින්නට සිද්ධ වෙන එකක් නෑ. දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙම අපරාධ විමර්ශන යොදා ගන්නට අපි කටයුතු කරන්නෙ නෑ. දේශපාලන පැවැත්ම වෙනුවෙන් විමර්ශන යොදා ගන්නෙත් නැ. එහෙම ස්වාධීනව සාධාරණව විමර්ශන සිදු කරද්දී යම් කාලයක් ගතවීම වළක්වන්න බෑ. ඕනම කෙනෙකුට තමන්ට එරෙහිව නැඟෙන චෝදනා තියෙනව නම් ඒ විමර්ශනවලට මුහුණදී නිවැරදි වෙන්නත් හැකියාව තියෙනවා. අධිකරණය විසින් නිසි තීන්දු ලබාදේවි. පොලීසිය විසින් කරන්නේ විමර්ශන කටයුතු විතරයි. චෝදනා ගොනු කිරීම හෝ අධි චෝදනා භාර දීම නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යයක්. යුක්තිය පසිඳලීම අධිකරණය සතු කාර්යයක්. මේ ත්‍රිවිධ ආයතන එකිනෙකින් ස්වාධීනව කටයුතු කරනවා. මේ ආයතන ත්‍රිත්වයේම බලතල එක තැනකට සංකේන්ද්‍රණය වෙලා නම්, එකම තැනකින් හසුරුවනවා නම් එතැනදී දේවල් කාර්යක්ෂම වෙන්න පුළුවන් වුණාට අගතියක් වෙන්න පුළුවන්. පොලීසිය භාර අමාත්‍යවරයා හැටියට කියන්න තියෙන්නෙ පොලීසියේ කාර්යභාරය නිසි ලෙස කෙරෙන බව පමණයි. ඒවායේ යම් යම් අඩුපාඩු හෝ දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් කාර්යභාරය අඛණ්ඩව විධිමත් ලෙස කෙරෙනවා. එනම් දීර්ඝ කාලයක් දේශපාලනයට නතුවෙලා තිබුණු පොලිස් දෙපාර්තමේන්තුව අපි ක්‍රමිකව එයින් මුදවා ගනිමින් තිබෙනවා. පොලිස් ස්ථානාධිපතිවරුන් 182ක් ම පත් කරනු ලැබුවේ දේශපාලන වුවමනාවන්වලටයි කියලා හිටපු පොලිස්පතිවරයෙක්ම කියලා තිබුණා.
පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී අදාළ පොලිස් ස්ථානය අයිති වෙන මැතිවරණ බලප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ ආසන සංවිධායකවරයාගෙන් ලියුමක් අවශ්‍ය බවට පසුගිය කාලයේ තොරතුරු අනාවරණය වුණා. දැන් කොහොමද?
ඒ කාලෙ එහෙම තිබුණා. දැන් ආසන සංවිධායකවරුන්ගේ හෝ මැති ඇමැතිලාගේ කැමැත්ත අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමක් නෑ. දක්ෂතාව හා හැකියාව තියෙන, අදූෂිත නිලධාරීන්ට නිසි තැන ලැබෙනවා. පොලිස් කොමිසම එක්ක එකතු වෙලා ඒ ගැන කටයුතු කරනවා. දක්ෂ හා අවංක නිලධාරීන්ට උසස්වීම් හා රාජකාරි ඇගයීමට ලබාදෙන ත්‍යාග මුදල් සඳහා මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. තැන තැන වෙඩි තැබීම් සිදු වුණාට එක් අයෙකු හැර ඒ සම්බන්ධයෙන් වගකිව යුතු සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තියෙනවා. ගණේමුල්ල සංජීවගේ ඝාතන සිදුවීමේ ප්‍රධාන සැකකාරිය පමණයි මේ සිදුවීම්වලට අදාළව අපට සොයාගැනීමට හැකිවී නැත්තෙ. මෙම සිද්ධියේ වෙඩික්කරු, වෙඩි තැබූ අවිය, භාවිත කළ වාහන දෙකක්, සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළුව සැකකරුවන් 12 දෙනෙක් එතැන ඉන්නවා. ඒ අයට නඩු පැවරීම් කටයුතු කෙරෙනවා. විපක්ෂය මෙන්ම සමහර මාධ්‍ය ආයතන වුණත් මතුකරන්නේ ඒ අතුරුදන් වුණු එක්නෙකා ගැන විතරයි. අල්ලා ගත්තු 12 දෙනා හෝ සොයාගත්තු නඩු භාණ්ඩ ගැන කතා කරන්නෙ නෑ.
පොලීසියටත් එල්ල වෙන චෝදනා සුළු කොට තැකීමට හැකියාවක් නෑ නේද?
පොලීසියේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය නැතුවා නොවෙයි. ජාවාරම්වලට සම්බන්ධ වීම පමණක් නොව, රාජකාරි අවස්ථාවන්වල පවා ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යා භාවිත කරන බවටත් තොරතුරු ලැබිලා තියෙනවා. අපි ඒ ගැනත් විමර්ශන කරලා ඒ අයට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. එහෙත් ඒ පිරිස ඉතාමත් සීමිතයි. ඉතා විශාල ප්‍රමාණයක් අවංකවම රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනය ලෙස පොලීසිය පිරිසිදු නොවී රටේ මහජනයා පිරිසිදු කරන්නට හැකියාවක් අපට නෑ. සමස්ත රාජ්‍ය සේවයම පිරිසිදු වෙන්න ඕන. මිනිසුන් ආකල්පමය වශයෙන් වෙනස් වී රටක් හැටියට සිතන්නට ඕන. දඬුවමෙන් පමණක් ප්‍රශ්න විසඳන්න හැකියාවක් නෑ. ස්ත්‍රී දූෂණයක් සිදු වුණාම ඊට එරෙහිව වර්ජනය කරලා ප්‍රශ්න විසඳන්නට හැකි යයි සිතන තැනකට රට තල්ලුවී තිබෙනවා. හැබැයි ලිංගික අපචාර දවසකට 7-8ක් විතර සිද්ධ වෙනවා. රිය අනතුරුවලින් දවසකට 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙනවා. 3000ට වැඩි පිරිසක් අවුරුද්දකට මිය යනවා. හැබැයි විනය ගරුක රියැදුරෙක් හදාගන්න අපට තාම බැරිවෙලා තිබෙනවා. ඒ අර කීව විදිහට ආකල්පය හා සමාජ හැසිරීම්වල වෙනසක් සිදු නොවෙන තාක් මේ රට ගොඩගන්න බෑ.
සමාජ පරිවර්තනයක් දක්වා මේ ගමන යන්නට පොලීසියේ වගකීම නිසි ලෙස ඉටුවිය යුතුයි නේද?
පාතාල ක්‍රියාකාරකම්, ස්ත්‍රී දූෂණ, මිනී මැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් මේ සියල්ල සිදු වෙන්නේ දෙකෝටි විසි ලක්ෂයක මේ ජනතාව අතරමයි. මිනිසුන් තොරතුරු දෙන්න පෙලඹෙනවා නම්, මේවා වළක්වා ගැනීමට මැදිහත් වෙනවා නම් අපරාධ නිවාරණ ක්‍රමවේදයකට අපට පහසුවෙන් යන්න පුළුවන්. අපරාධයක් සිදු වුණාම අපරාධකරු හඹා යාමට වැඩිය සිද්ධිය වළක්වා ගන්නට කටයුතු කිරීම තමා වැදගත්. ග්‍රාමසේවක කොට්ඨාස සියල්ල පාදක කරගෙන මහජන ආරක්ෂක කමිටු හදන්නත්, මහජනයා අතර සිට ඔවුන්ගේ උපරිම සහයෙන් තොරතුරු අරන් අපරාධ නිවාරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා. අප්‍රේල් 01 දා සිට ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ඒ සඳහා නායකත්වය වගේම සියලු දෙනාගේම සහභාගිත්වයත් අත්‍යවශ්‍යයි. අද තියෙන පොලීසියට තොරතුරු දුන්නාම අපරාධකරුවා අතට තොරතුරු දුන් කෙනා ගැනත් තොරතුරු පත්වෙන බවට මිනිසුන් චෝදනා කරනවා. අපි ඒ මතය වෙනස් කරමින් ඉන්නවා. දැන් වෙනදාට වඩා අපට තොරතුරු ගලා එමින් තියෙනවා. මහජන ආරක්ෂක කමිටු හරහා මේක පුළුල් කරන්නටත්, විශ්වාසය තහවුරු කරන්නටත් පුළුවන් වේවි.
පොලීසියට මේ සම්බන්ධයෙන් තියෙන තවත් බාධා තියෙනවාද ?
ඔව්, නැතුවා නෙවෙයි. පොලිසිය තුළත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන් සිටිනවා. 22,000ක පිරිස් හිඟයක් තියෙනවා. එස්.ටී.එෆ් එකේ 2500ක පුරප්පාඩු තියෙනවා. ඔක්කොම 25,000ක් පුරප්පාඩුයි. ඒකත් ප්‍රධාන ප්‍රශ්නයක්. මේ විදිහට පොලීසියට පැවරෙන රාජකාරි දෛනිකව වර්ධනය වුණාට ඊට සාපේක්ෂාව පොලීසියේ මානව සම්පත වර්ධනය වෙන්නෙ නෑ. තාක්ෂණය හැකිතාක් බද්ධ කරගන්න අවශ්‍යයි. ඉදිරි මාස 3ක් ඇතුළත රථ වාහන දඩ ඔන්ලයින් ගෙවීමට අවශ්‍ය විධිවිධාන සකස් කරනවා. පොලීසියත් පගාව ගන්නා බවට එල්ලවන චෝදනා නැති කරලා ඔවුන්ට අභිමානවත් විදිහට රාජකාරිය කිරීමට අවශ්‍ය වටපිටාව සකසනවා. මේ අවුරුද්දෙ 5000ක් පොලීසියට අලුතෙන් බඳවා ගන්නවා. දැනට අතරමඟ නැවතී ඇති උසස්වීම් ක්‍රියාත්මක කරනවා. දැනටමත් 2500කට අනුමැතිය ලැබිලා තියෙනවා.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර