2026 වසරේ සිට සියලු විභාග නිශ්චිත කාලසටහනකට අනුව පවත්වන බවත්, ඒ අනුව එක් එක් විභාගය සඳහා දින, කාලවකවානු ස්ථිර වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පසුගියදා ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග සුපුරුදු පරිදි අගෝස්තු මාසයේදීත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වෙන අතර, රජයේ සෙසු විභාග ද නියමිත කාලසටහනකට සහ ස්ථිර ක්‍රමවේදයකට අනුව පැවැත්වෙන බව හෙතෙම සඳහන් කළේය.
රටක අධ්‍යාපනය පිළිබඳ විශ්වසනීයත්වය හා සුරක්ෂිතභාවය ඇතිකිරීම සඳහා මෙවැනි නිශ්චිත කාලරාමුවකට අනුව අධ්‍යාපන පද්ධතිය සකස් වී තිබීම අනිවාර්ය අවශ්‍යතාවකි. මෙය රටේ ඇතිකරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික පියවරක් වශයෙන් ද සැලකිය හැකිය.
කොවිඩ් වසංගතය සහ පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා මතු වූ අයහපත් සමාජ පරිසරය හේතුවෙන් රටේ අධ්‍යාපන පද්ධතියේ නිශ්චිත කාලසටහන බිඳවැටුණු බව අප සැම දන්නා කාරණයකි.
රටේ පවතින අධ්‍යාපන පද්ධතිය පිළිබඳ පොදු සමාජයේ විශ්වසනීයත්වය බිඳවැටීම සිසු ජීවිතවලට විශාල වශයෙන් බලපාන අතර, බොහෝ පිරිසක් ශ්‍රී ලාංකේය අධ්‍යාපනයෙන් පිටමං කිරීමට ද එය හේතුකාරක වූ බව සත්‍යයකි.
ගෙවුණු වසර හයක කාලසීමාව මුළුල්ලේ අපට නිශ්චිත පාසල් වාර විභාග, නිවාඩුව, ප්‍රතිඵල නිකුත් කිරීම යන කරුණු පොදුජන මනසේ තිබූ චිත්‍රය සමඟ සමපාත වූයේ නැත. විභාග පැවැත්වීම, පාසල් ඇරඹීම, නිවාඩු දීම පිළිබඳ ජනතාව දැන ගත්තේ ජනමාධ්‍යයෙන් මිස, ඔවුන් තුළ තිබූ සමාජ අවබෝධයෙන් නොවේ. එබැවින් පාසල් පැවැත්වීමේ කාලසටහන නිශ්චිත ක්‍රමවේදයකට ගෙනඒම අත්‍යවශ්‍ය කාරණයකි.
යම්කිසි මට්ටමක ආර්ථික හැකියාවක් ඇති අය මේ මොහොතේ විදෙස් විශ්වවිද්‍යාලවල පාඨමාලා හදාරන අතර, තවත් පිරිසක් වෙනත් වෘත්තීය පාඨමාලා කෙරෙහි යොමු වෙමින් අධ්‍යාපනයේ ගමන්මඟ වෙනස් කොට තිබේ. එමෙන් ම මේ නිසා ඇති වූ මානසික අවපීඩන තත්ත්වය තුළ සියදිවි නසාගැනීම් වැනි තත්ත්වයන්ට යොමු වූ පිරිස් ද සිටි බව ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.
අධ්‍යාපනයටත්, වාර විභාග හා වෙනත් විභාග සඳහාත් නිශ්චිත කාලසටහන් පමණක් සකස් කිරීමෙන් මෙකී සියලු අර්බුද විසඳෙන්නේ නැත. එහෙත් මෙය එක්තරා අන්දමක සාධනීය පියවරකි. එළඹෙන වසරේ සිට එය නිවැරැදිව විධිමත් ක්‍රමවේදයකට පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය ද පසුගියදා ප්‍රකාශ කොට තිබිණි. මෙය රටේ සමස්ත ක්‍රම පද්ධතියටම ඍජු ලෙස බලපාන කාරණයකි. පාසල් නිවාඩුව සමඟ උත්සව සමය ආරම්භ වීම, උසාවි නිවාඩු දීම, නිවාඩු සමය කේන්ද්‍රගත කරගෙන වෙනත් වාණිජ අවස්ථා නිර්මාණය වීම, ඒ කාලසටහනට අනුගතව පවුල් සංස්ථාවේ මානසික නිරවුල්භාවයට අදාළ කරුණු නිර්මාණය වීම ඒ අතරින් කිහිපයකි. එබැවින් මෙය ඉතා සරල කාරණයක් ලෙස මතුපිටින් පෙනුණ ද කිසියම් ආකාරයක සමාජ වැදගත්කමක් ඇති සුවිශේෂ තීන්දුවකි.
කොරෝනා වසංගතය සහ පාස්කු ඉරුදින ප්‍රහාරය යන සිදුවීම් දෙකම ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බරපතළ කඩාවැටීම්වලට හේතුකාරක වූ කරුණු විය. මේ නිසා පාසල් හැරගිය, අධ්‍යාපනයෙන් පිටමංවූ පිරිස නිශ්චිතව ගණනය කර නැති වුවද එමඟින් ඇතිවන සමාජ බලපෑම ඉතා ප්‍රබල ය. පමා වී හෝ ඒ සඳහා ක්‍රමවේද සකස් කිරීමට යොමුවීම අගය කළ යුත්තකි. දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ව්‍යාප්ත වූවා පමණක් නො ව, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය මෙයට සමගාමිව සිදු කෙරිණි. එමෙන්ම අධ්‍යාපන නවෝත්පාදන ප්‍රතිසංස්කරණ සඳහා කිසියම් ආකාරයක මුලපිරීමක් ද මේ සඳහා කාලීන අවශ්‍යතාවක් ලෙස ගොඩනැඟුණු බව සඳහන් කළ යුතුය.
අධ්‍යාපනය යනු රටක අනාගතය උදෙසා කෙරෙන ඉතා බලවත්ම සුවිශේෂම සහ ප්‍රතිඵලදායකම ආයෝජනයයි. හෙට ලෝකයට ගැළපෙන බුද්ධිමත් පරම්පරාවක් නිර්මාණය වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වන්නේ මෙමඟිනි. දියුණු ලෝකයේ ධනවත්, සංවර්ධිත රටවල් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමේදී භෞතික සංවර්ධනයෙන් අත්පත් කර ගත් දියුණුවට වඩා අධ්‍යාපනික සංවර්ධනය වඩාත් සුවිශේෂ කොට සැලකුවේ ඒ හේතුවෙනි.
කෙසේ නමුත් පමා වී හෝ ශ්‍රී ලංකාව මේ කටයුත්තට මුලපිරීම පිළිබඳ පොදු අරමුණකින් යුක්තව කල්පනා කරන, සමාජ ප්රගමනය අපේක්ෂා කරන සියලු දෙනා විවාදයකින් තොරව අගය කළ යුතු කාරණයකි.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම, පවත්නා සාම්ප්‍රදායික විෂය මාලා සංශෝධනය, ගුරු පුහුණු පාඨමාලා විධිමත් කිරීම, ඒ සඳහා දෙස් විදෙස් සම්පත්දායකයන් සපයා ගැනීම, අවශ්‍ය නම් නීති රීති සම්පාදනය යන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මේ සඳහා අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ජන සමාජය තුළ ඒ සඳහා වන ආකල්පමය වෙනස සඳහා සන්නිවේදන බලපෑමක් ඇතිකිරීම ද කාලානුරූපී අවශ්‍යතාවක් ලෙස සඳහන් කළ යුතුම ය.
ප්‍රමුඛතා හඳුනාගත් අධ්‍යාපන ක්‍රමපද්ධතියක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන විධිමත් බලපෑම, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට කුසලතාව හා අවශ්‍යතාව මුල්කරගත් අධ්‍යාපනයක් නිර්මාණය කර ගැනීම ද එහි තවත් සාධනීය තත්ත්වයකි. එබැවින් පටු දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් සහ සියල්ලට විරුද්ධ වන විරෝධාකල්ප මනසින් තොරව මෙකී නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ අවබෝධ කොටගතයුතු ව ඇත. එය දීර්ඝකාලීන සැලසුම්සහගත ක්‍රියාවලියක්ම විය යුතුය. එහිදී ප්‍රාථමික අධ්‍යාපනය හා පාසල් අධ්‍යාපනය වඩාත් සුවිශේෂ වනු ඇත.
එවැනි සමාජ වෙනසක් සඳහා ආකල්පමය වෙනසකින් යුතුව බුද්ධිමය දායකත්වයක් අපේක්ෂාවෙන් රටේ අවශ්‍යතාව හඳුනා ගත් ජන මනස සහ බැඳුණු අධ්‍යාපන ක්‍රමවේදයක් මේ රටට ඉතා ඉක්මනින් අත්‍යවශ්‍ය වන්නේම ය.