දෙස් විදෙස් සරසවි හා පර්යේෂණ ආයතන රැසක භෞතික විද්‍යා පර්යේෂකයකු ලෙස ක්‍රියා කරන ආචාර්ය ගාමිණී පියදාස ප්‍රතිගුරුත්වය පිළිබඳ සංකල්පය විද්‍යාත්මක ව හඳුන්වාදෙමින් ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණයන්හි නියැළී සිටියි. එසේම බලශක්ති පරිවර්තනය හා සංරක්ෂණය පිළිබඳවද පර්යේෂණ කරන හෙතෙම ගෝලීය උණුසුම ඉහළයාම හමුවේ අනාගත මිහිතලයේ ජීවයේ පැවැත්ම පිළිබඳ දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.)
පෘථිවි ජෛව ගෝලය තුළ, වසර දහස් ගණනක් තිස්සේ මිනිසා, සත්වයන් හා ශාක ඇතුළු සියලුම ජීවීන්, අන්තර් සහජීවන සබඳතා මත රඳ පැවතිණි. සොබාදහම කේන්ද්‍රීයව එයට අනුකුලව දිගු කලක් මානව සංහතිය ජෛව පද්ධතිය ආරක්ෂා කර ගනිමින් තම නිදහස්කාමී ජීවන රටාවක් භුක්ති විඳින ලදී. මානව පරිකල්පනයේ එක් කඩ ඉමකදී බටහිර විද්‍යාත්මක හා කාර්මික නව සොයා ගැනීම් සමඟ එතෙක් පැවති ජෛවීය සමතුලිතතාව බිඳ වැටීම ඇරඹුණි. ඒ සමඟම ඇති වූ මානව ක්‍රියාකාරකම් හරහා එතෙක් පැවති මිහිතලයේ ස්වභාවික සංයුතිය ඉමහත් අභියෝගයන්ට ලක් විය. මෙයින් ප්‍රධානතම අභියෝගාත්මක සාධකයක් වුයේ ගෝලීය උෂ්ණත්වය යි.
20 වන සියවස මැද භාගය වන තෙක්, පෘථිවි මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය (Average temperature near the earth surface) සෙන්ටිග්‍රේඩ්

ආචාර්ය ගාමිණී පියදාස
අංශක 15ක අගයකින් පැවතුණි. මිනිසා, සත්වයන් හා ශාක ඇතුළු සියලුම ජීවීහු පෘථිවි ජෛව ගෝලයේ එම උෂ්ණත්ව පරාසය තුළ පැවති දේශගුණික තත්ත්වයට අනුගතව සිටියහ.
එම උෂ්ණත්ව අගය පසු ගිය සියවස මැද සිට ක්‍රමයෙන් ඉහළ අගයක් කරා වර්ධනය වෙමින් පවතී. මෙම සංසිද්ධිය අපට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම (global warming ) නමින් හඳුවන්නට හැකි ය. මෙය සාගරයේ මෙන්ම ගොඩබිමද සිදුවෙමින් පවති යි. මේ වන විට සාගරය සහ ගොඩ බිම දෙකෙහිම සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කට වඩා ඉහළ ගොස් පවතින බව ECMWF( European Center for Medium-Range Whether Forcast) කමිටුවේ නවතම වාර්තා විසින් හෙළිදරව් කරයි. 2024 වසර මෙතෙක් පෘථිවි යේ ඉහළම උෂ්ණත්වය වාර්තා වූ වසර ලෙස විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ.
බලපෑ සාධක
19 වන සියවසේ ආරම්භ වූ කාර්මික විප්ලවය සහ ඛනිජ තෙල් (Fossil fuel) භාවිතය ඇරඹීම, මිනිස් ක්‍රියාකාරකම් හරහා පෘථිවි වායු ගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායුන් (Greenhouse gases) මෙම උෂ්ණත්වය ඉහළයාම කෙරෙහි මුලික වශයෙන් බලපා ඇත. මෙවැනි අහිතකර වායුන් පරිසරයට මුදා හැරීම නිසා වායුගෝලයේ ගුණාත්මක බව පිරිහේ. එමගින් ජීවීන්ගේ ශ්වසන ක්‍රියාවලියෙහි උද්ගත වන අසීරුතා නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීම සහ ඔවුන්ගේ පැවැත්මට ඉමහත් තර්ජනයක් එල්ල වේ. පෘථිවියට ශක්තිය ලැබෙනුයේ සූර්යයාගෙනි. එම ශක්ති ප්‍රභවයේ මුලික වශයෙන් අඩංගු වන්නේ අධෝරක්ත කිරණ (Infra-red) හෙවත් තාප ශක්තිය යි. මෙම තාප ශක්තිය කෙටි තරංග ආයම කිරණ ලෙස වායු ගෝලය හරහා ගමන් කර පෘථිවි පෘෂ්ඨය මතට පතිත වේ. (මෙම කෙටි තරංග ආයම කිරණ පෘතුවි වායු ගෝලයට පාරදෘශ්‍ය වේ). එහිදී පෘථිවි පෘෂ්ඨය සහ ඒ මත ඇති සෙසු ව්‍යුහයන් එම කිරණ අවශෝෂණය කර ගැනීමෙන් උෂ්ණත්වය ඉහළ යයි.
මෙම ඉහළ උෂ්ණත්වයක ඇති පෘථිවි පෘෂ්ඨය හා අනෙකුත් වස්තුන්, එම අවශෝෂණය කරගත් තාපය, නැවත දිගු තරංග අධෝරක්ත කිරණ ලෙස, (long wave Infra red) පෘථිවි වායු ගෝලය හරහාම අවකාශයට මුදා හරී. එලෙසම පෘථිවියේ විසිරී ඇති අයිස් තට්ටු (උත්තර ධ්‍රැවයේ හා ග්ලැසියර ලෙස පෘථිවියේ අනෙකුත් ප්‍රදේශවල විසිරී පවතින) දර්පණ ලෙස ක්‍රියා කරමින් මෙම තාප ශක්තිය නැවත අභ්‍යකාශයටම පරාවර්ථනය කර යවයි. නමුත් හරිතාගාර වායුන් මෙම නැවත අභ්‍යවකාශය වෙත යන දිගු තරංග ආයම සහිත තාප තරංග එසේ යාම අවහිර කර නැවත පෘථිවිය වෙතම යොමු කර යි. මෙලෙස පෘථිවි වායු ගෝලයේම රැඳෙන තාප ශක්තිය අඛණ්ඩවම පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ නංවයි.
ගෝලීය උෂ්ණත්ව වැඩිවීම නිසා ඇතිවන සංසිද්ධීන් හුදෙක්ම හුදකලා සංසිද්ධීන් (Isolated phenomena) නොවේ. ඒවා දාම ප්‍රතික්‍රියා (Chain reaction) ලෙස එකිනෙකට අන්තර් සම්බන්ධිතව බැඳී පවතී. එම නිසා මේ පිළිබඳ ඉදිරියේ උද්ගත විය හැකි තත්ත්වයන් පිළිබඳ දැනට පවතින විද්‍යාත්මක ආකෘති යටතේ අනාවැකි පළකිරීම ඉතා අසීරු කාර්යක්ව ඇත. නිදසුන් වශයෙන්, පවතින විද්‍යාත්මක මොඩල හරහා පුර්වයෙන් නිගමනය කර තිබුණේ, උත්තර ධ්‍රැවයේ අයිස් තට්ටුව සම්පුර්ණයෙන් දියවීම් 2050 වර්ෂය ආසන්න කාලයේදී සිදු වන බව යි. (Simulations suggest ice-free Arctic summers by 2050 ESA – European Space Agency). නමුත් 2024 අවසන් වන විට පුර්ව නිගමන බැහැර කර විද්‍යාඥයන් පුරෝකථනය කරනුයේ 2027 වසර වන විට උත්තර ධ්‍රැවයේ අයිස් තට්ටුව සම්පුර්ණයෙන් දිය වී යන බව යි. (The Arctic could be ice-free by summer 2027: Nature Communication 15, Article number:10101(2024)). විද්‍යාඥයන්, පරිසර සන්නිවේදන අධ්‍යන ප්‍රකාශනයෙහි දක්වා ඇති පරිදි 2027 වන විට උත්තර ධ්‍රැවයේ අයිස් තට්ටුව සම්පුර්ණයෙන් දිය වී යාම මනුෂ්‍ය වර්ගයාගේ කිසිම ක්‍රියාවලියක් තුළින් නොවැළැක්විය හැකි සහ ආපසු හැරවිය නොහැකි බවයි.
අයහපත් බලපෑම්
ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා, මිහිතලය සහ එහි ජීවීන් පහත සඳහන් ක්‍රියාවලින්ගේ ප්‍රති-විපාකයන්ට මුහණ දෙමින් සිටී. සමස්ත පෘථිවියෙහි අයිස් සහ ග්ලැසියර දියවීම සිදුවෙමින් පවතී.
මෙම සංසිද්ධිය ආකාර කිහිපයකින් ගෝලීය උෂ්ණත්වය වැඩිවීම කෙරෙහි බලපානු ලබයි.
- සූර්යාගෙන් ලැබෙන තාප ශක්තිය අයිස් ස්ථර මඟින් නැවත අභ්‍යවකාශය වෙත පරාවර්ථනය කිරීමට පෘෂ්ඨය අඩු වීම්. එම නිසා එකී අමතර තාප ශක්තියද පෘථිවි වායු ගෝලය තුළ රඳා පැවතීම.
- පෘථිවිය තුළ සියලුම සුළං ධාරා, වර්ෂාව ආදිය ඇති කරනු ලබන්නේ මුහුදේ ඇතිවන තාප සංක්‍රමණ ජල ධාරා (sea currents) කරන කොට ගෙන ය. මෙම මුහුදු ජල ධාරා ක්‍රියාත්මක වන්නේ උත්තර ධ්‍රැවය හා කැනඩාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ග්ලැසියර ආශ්‍රිත ප්‍රදේශය මුල් කර ගෙන ය. එම අයිස් සහිත ප්‍රදේශ අඩුවීම නිසා මුහුදු ජල ධාරා ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය නවතී. මේ නිසා මුළු පෘථිවිය පුරාම උෂ්ණත්ව විෂමතා හටගනී. අධික උෂ්ණත්වය ජීවයේ පැවැත්මට ඔරොත්තු නොදෙන අහිතකර තත්ත්ව ඇති කරයි.
- අයිස් දිය වීම නිසා සාගර ජල මට්ටම අඩි 195 පමණ ඉහළ යා හැකි බව NASA ආයතනයේ සහ චන්ද්‍රිකා ගවේෂණය තුළින් පෙන්නුම් කරයි. ඒ නිසා පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීම සිදුවේ.
ගොඩබිම උෂ්ණත්වය වැඩිවීම, පැහැදිලි ලෙස මිනිසාට මෙන්ම අනෙකුත් ජීවින්ටද ජීවිත තර්ජන ඇති කරයි. තාප ආඝාතය (Heat stroke) දැනටමත් සිදුවෙමින් පවතී. මෙය දැනටමත් වසංගතයක ආකාරයෙන් වර්ධනය වෙමින් පවතී. 2000–2019 කාලය තුළ මිනිස් ජීවිත 489 000 ප්‍රමාණයක් මරණයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත පෙන්වයි. එසේම අනාගතයේ මෙම මරණ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යන බව සහ මෙම ව්‍යසනය හමුවේ බිලියන ගණනක සත්ව ප්‍රජාව ජීවිත තර්ජනයට මුහුණ පාන බවද ප්‍රකාශ කරයි.
ආහාර, සියලුම ජීවීන් ගේ රඳා පැවැත්මේ ඍජු සාධකයකි. සියලුම් ආහාර දාමයන්හි ප්‍රභවය පැළෑටි ය. එම සාධකය සාගරවල මෙන්ම ගොඩබිමද එකසේ ක්‍රියාත්මක වේ. පැළෑටිවල පැවැත්ම මුලිකව රඳා පවතිනුයේ, එහි ආහාර නිෂ්පාදනයට අදාළ හරිතප්‍රද (chlorophyll) නමැති රසායනික ද්‍රවයේ ක්‍රියාකාරිත්වය මත ය. පරිසර උෂ්ණත්වයේ වැඩිවීම , හරිතප්‍රදවල ක්‍රියාකාරිත්වය අඩු කිරීමේ ප්‍රවණතාවක් ඇති බව නවතම පර්යේෂණ හුවා දක්වයි. මෙය ජීවීන්ගේ ආහාර දාම ක්‍රියාවලියට අනතුරුදායක ඍජු බලපෑමක් ඇති කරයි.
ගොඩබිම උෂ්ණත්වය ඉහළ යාම නිසා කෘමීන්, වයිරස සහ බැක්ටීරියා ගහණ වර්ධන වේගය ඉතා ඉහළ අගයක් ගනී. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම් කෘමි ගණත්වය වැඩිවීම මෙන්ම ඔවුන්ගේ ආහාර රුචිය ඉහළ යන බවද මෑත කාලීන පර්යේෂණ හෙළිදරව් කරයි. මෙය මානව ආහාර නිෂ්පාදනයට එල්ල වන, නව තර්ජනාත්මක තත්ත්වයකි. මේ නිසා මානව සෞඛ්‍ය පමණක් නොව කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය දැඩි අවදානමකට මුහුණ පා ඇත. මේ නිසා වගා බිම් පමණක් නොව ලොවට ඔක්සිජන් නිෂ්පාදනය කරන වැසි වනාන්තරද විනාශ වෙමින් පවතී. උදාහරණ වශයෙන් ඇමසන් වැසි වනාන්තරයෙන් ආසන්න වශයෙන් 47% ක භුමි ප්‍රමාණයක්, 2050 වන විට විනාශයට පත්වේ යයි දැනට අනාවැකි පළ කර ඇත.
එසේම, අධික උෂ්ණත්වය හේතු කොට ගෙන අනපේක්ෂිත ස්වාභාවික ව්‍යසනයන්ට ලොව මුහුණ දෙමින් සිටී. දැඩි උෂ්ණත්වය නිසා පරිසරයේ සිදුවන අධික වියළීම හේතුවෙන් මැඩ පැවැත්විය නොහැකි ආකාරයේ ලැව් ගිනි හට ගැනීම, පෘථිවි පෘෂ්ඨයේ අධික ජල වාෂ්පීකරණයෙන් ඇතිවන නියග තත්ත්වයන් තුළ ලොව ජීවීන් ඉමහත් පීඩාවන්ට පත්ව සිටී. වර්තමානයේ ලොව පුරා බිලියන දෙකකට අධික ජනගහණයකට පිරිසිදු පානීය ජලය සපයා ගත නොහැකිව ඇත. එසේම ලොව ජනගහණයෙන් හරි අඩකට පමණ වසර පුරා අඛණ්ඩව සිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ය. ගෝලීය උණුසුම ඉහළ යාමෙන් අනාගතයේ දී මෙම ජල අර්බුදය වඩා උග්‍ර ලෙස තීව්‍රර වනු ඇත. (SDG & WHO Reports 2022)
පසු ගිය වසර කිහිපය තුළ කැනඩාව , එක්සත් ජනපදය, ස්පාඤ්ඤය ජපානය වැනි භෞතික වශයෙන් දියුණු රාජ්‍යන්ට පවා අක්කර දස දහස් ගණනින් පැතිර යමින් මහත් දේපළ සහ ජීවිත හානි කළ ලැව්ගිනි විනාශය මැඩ පැවැත්වීම මහත් අසීරු විය. අධික වාෂ්පීකරණ නිසා පෘථිවි පෘෂ්ඨය වියළීම පමණක් නොව, වාෂ්ප වූ අධික ජල ප්‍රමාණය මගින් පෙර නොවී විරූ දේපළ සහ ජීවිත හානි පමුණුවන මහා වැසි ඇතිවීම් තවත් සංසිද්ධියකි. ලොව ජීවත් වන සියලු ජීවීන් කෙරෙහි වඩාත් බලපෑම් කරනුයේ සාගර උෂ්ණත්වය වැඩිවීම ය. පෙර සඳහන් කළ පරිදි, සාගරයේ දිය වැල් මගින් පෘථිවිය සිසාරා උෂ්ණත්ව පාලනය සිදු කරනු ලබයි.
උෂ්ණත්වය වැඩි ජලය සාගරයේ මතුපිට පවතී. මෙම මතු පිට ජලයේ ඇති අමතර තාප ප්‍රමාණය දියවැල් මගින් උත්තර ධ්‍රැවය වෙත ගෙනයනු ලබයි. මෙහිදී එහි අමතර තාපය, උත්තර ධ්‍රැවයේ ඇති අයිස් සහිත පරිසරයට මුදා හැර සිසිල් වී මුහුදු පතුලට ගමන් කරයි. එසේ මුහුදු පතුලට ගමන් කළ සිසිල් ජලය, මුහුදු පතුල හරහා නැවත සාගරයේ සෙසු පෙදෙස්වල ඇති අමතර තාපය අවශෝෂණය කර, රැගෙන ඒමේ චක්‍රීය ක්‍රියාවලිය සිදු කරයි. මෙම ක්‍රියාවලිය, පෘථිවිය තුළ ජීවය පවත්වා ගැනීම සඳහා අති මහත් කාර්ය භාරයක් ඉටු කරයි. විවිධ මුහුදු ජීවීන්ගේ සංක්‍රමණය, සාගරයේ වෙසන ජීවීන්ට ආහාර සහ බෙහෙවින් අත්‍යවශ්‍ය වන ඔක්සිජන් වාතය, සාගරය පුරා බෙදාහැරීම මෙම දියවැල් මගින් සිදු කරයි. එසේම මෙම තාප සංක්‍රමණය තුළ, අප පෘථිවි වායු ගෝලය තුළ තාපය, සහ එමගින් උෂ්ණත්ව වෙනස් කිරීම් සිදු කරනු ලබයි. මෙම වෙනස්වීම් නිසා වර්ෂාව, සුළං, කුණාටු ආදී වායු ගෝලයේ සිදුවන විවිධ සංසිද්ධීන් ඇති කරනු ලබයි. උත්තර ධ්‍රැවයේ අයිස් ප්‍රමාණය අඩු වීම් නිසා, මෙම ක්‍රියාවලිය විශාල විපර්යාසයන්ට ලක්ව ඇත. සාගර උෂ්ණත්ව ඉහළ යාම තුළ ඔක්සිජන් වායුව රඳවාගැනීමේ හැකියාව අඩු වීම නිසා සාගර තුළ ජීවත්වන සියලු ජීවීන්ට අහිතකර අයුරින් දැඩි බලපෑම් ඇති කරයි.
තත්ත්වය භයානකය
විවිධ සාගර කලාපයන්හි කොරල් පර විනාශවීම, ජලජ ජීවීන් සහ මුහුදු පැළෑටි (ඇල්ගී ) මහා පරිමාණ ලෙස වඳවී යාම මෙහි අයහපත් ප්‍රතිඵලයකි. මෙහි ඉතාම අනතුරුදායක තත්ත්වය නම් අප වායු ගෝලයට අවශ්‍ය වැඩිම ඔක්සිජන් ප්‍රතිශතය නිෂ්පාදනය කරන ඇල්ගී ශාක විනාශයට පත් වීමයි. සාගරය, ලොව බහුතරයකගේ පෝෂණය සැපයුමේ ප්‍රධාන ප්‍රභවයකි. මෙය පසුබිම මනුෂ්‍ය ප්‍රජාව විශාල අර්බුදයකට පමුණුවයි.
සාගර ජලයේ උෂ්ණත්වය/තාප ශක්තිය, කුණාටු සහ සුළිසුළං නිර්මාණය කරයි. සාගරයේ වැඩි වූ තාප ශක්තිය නිසා, පෙර නොවූ විරූ අයුරින් ඉතා ප්‍රබල චණ්ඩ කුණාටු වර්ධනය වන අතර කුණාටු ඇතිවීමේ විභවතාවය ද බෙහෙවින් ඉහළ යයි.
ඉහත සාකච්ඡා කළ සියලු කරුණු විමසා බැලීම් තුළින් අපට මිහිතලයේ ජීවීන්ගේ අනාගත පැවැත්ම පිළිබඳ යම් සිතා බැලීමකට එළඹීය හැකිද?
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා පහත ප්‍රතිඵල උදාවීමට නියමිත ය.
- මානව ක්‍රියාකාරකම් හරහා පෘථිවි වායුගෝලය තුළ හරිතාගාර වායු වැඩිවීම
- පෘථිවි වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම
- පෘථිවියේ කාලගුණයට, උෂ්ණත්වය පාලනය ට දැඩි බලපෑමක් එල්ල වීම.
- පෘථිවියේ මෙතෙක් පැවති ග්ලැසියර සහ අයිස් තට්ටු දියවීම
- පෘථිවියේ ජීවය රකින ප්‍රධානම ක්‍රියාවලිය වන සාගර දිය වැල් නැවතීමේ අවදානම
එසේම සාගර දිය වැල්වල අනපේක්ෂිත හැසිරීම් හෝ නැවතීමේ ස්වභාවය තීරණය කරන තීරණාත්මක සාධකය වන උත්තර ධ්‍රැවයේ සහ එයට ආසන්න අනෙකුත් ග්ලැසියර 2027 කාලය වනවිට සම්පුර්ණයෙන් දියවීමේ අවදානම පවතී. 2027 වනවිට අපගේ පෘථිවි ජීව ගෝලයේ ජීවය අවසන් වීමේ අවදානමෙහි මුලික අඩිතාලම සනිටුහන් වීමට නියමිත ය.
මෙම බැරෑරුම් තත්ත්වය තේරුම් ගත් විද්වතුන්ගේ යෝජනා අනුව, විවිධ කර්මාන්තකරණය තුළ හරිතාගාර වායුන් නිපදවීම සීමා කිරීමට විවිධ ප්‍රඥප්ති (treaty) එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් එළඹ ඇත. නමුත් වැඩිම හරිතාගාර වායුන් මුදාහරින එක්සත් ජනපදය, චීනය වැනි බලවත් රාජ්‍යයන් මෙම ගිවිසුම් වලට නොඑළඹීම හෝ නොතකා හැරීම් විශාල ඛේදවාචකයකි. දැනටමත් ඇතැම් රාජ්‍යයන් මෙම ව්‍යසනය වටහා ගනිමින් එයින් වන හානිය අවම කිරීම් සඳහා වන රෝපණය ආදී ක්‍රියා මාර්ග වලට එළඹ සිටියි. කෙසේ වෙතත් ලොවට අහිමි වූ අවුරුදු මිලියන ගණනක් තිස්සේ වර්ධනය වූ ග්ලැසියර සහ අයිස් තට්ටු නැවත වර්ධනය වීම යථාර්ථයක් නොවේ. අවසාන වශයෙන් සංක්ෂිප්ත පවසන්නේ නම්, නැවත මෙම ව්‍යසනය හැරවීම සහ වැළැක්වීම කළ නොහැක්කකි. නමුත් සාමුහික ප්‍රයත්නයන් තුළින් යම් පාරිසරික විසඳුම් ලබා ගැනීමේ උත්සාහයන් මානවයා අත් නොහළ යුතු ය.
සංවාද සටහන – තිලිනා වීරසිංහ