නෙළුම් කුලුන (කුළුණ නෙවෙයි) චිත්‍රපටයේ තේමාත්මක පාඨය වන්නේ ‘රට වැටුණත් කුලුන කෙළින්’ යන්න යි. චිත්‍රපටය කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ මහින්ද රාජපක්ෂ යුගයේ ඉදිකරන ලද නෙලුම් කුලුනට කිසිදු සම්බන්ධයක් නැති නමුත් සම්බන්ධයක් යෝජනා කරයි. යමක් නොවන අතරේ එයම බවට පත්කරයි. කොහොමත් වචනවලට එහිම වූ අර්ථයක් නොමැති බැවින්ද, වාච්‍යාර්ථය සන්දර්භයට සමපාත බැවින්ද, හැඟවුම්කාරකය (signifier) හා හැඟවුම (signified) අතර සම්බන්ධය හිතුවක්කාරී බැවින්ද චිත්‍රපටයේ හැඟවුමට නැවුම් අලෝකයක් ගෙනදෙයි.
ආර්ථික වශයෙන් රට බංකොළොත්වීමට ප්‍රධාන හේතුවක් වූයේ දැවැන්ත අක්‍රමිකතාවන්ට තුඩුදුන්, රටට ඔරොත්තු නොදෙන, උපයෝගිතාවයෙන්

රට වැටුණත් කුලුන කෙළින්
අවම මහා පරිමාණ ණය මත පදනම් වූ ව්‍යාපෘතින් ය. පශ්චාත් නූතන තත්ත්වයක ප්‍රයෝජ්‍ය වටිනාකම ඉක්මවා ගොස් සාරාර්ථයක් නොමැති නිපැයුම් බහුල ය. ඉස්සො නොමැති ඉස්සෝ වඩේ හෝ නිකොටින් නැති සිගරට් පමණක් අත්දුටු සමාජයකට නැව් නොඑන වරායවල්, ගුවන් යානා නොඑන ගුවන්තොටුපළවල් ඉදිවීම සාමාන්‍යකරණය විය. නෙලුම් කුලුනද ඉදිවූයේ කුමකටදැයි එහි ප්‍රයෝජනය කුමක්දැයි කිසිවෙකුත් නොදන්නා නමුත් එය ඉදි විය. අවසානයේ රට බංකොළොත්වී ගෑස්, තෙල්, කිරිපිටි නැතිව මිනිසුන් සැතපුම් ගණන් දිගු පෝලිම්වලට එක්වූ අතර අත්‍යවශ්‍ය ඖෂධ නැතිව රෝගීන් දුක් විඳිද්දී සුව ඇමතිවරුන් ඒ ඛේදවාචකය පවා ඉල්ලමක් කරගනිමින් ඖෂධ නොවන දියර මෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධද බෙදමින් තම මඩිය තරකරගන්නට විය. අසරණ මිනිසුන් නිසි ප්‍රතිකාර නොමැතිව හෝ වැරදි ප්‍රතිකාර නිසා මියැදෙන්නට විය. ඇස් අන්ධ කරගන්නට විය. එහෙත් ණයට ඉදිවුණු කුලුන මේ සියල්ල දෙස නොසැළී බලා සිටින්නට විය.
නෙලුම් කුලුන චිත්‍රපටය අතිශය සරල ය. වලව්වේ ජයබාහු (පියා) හදිසියේම මිය ගොස් ය. එහෙත් ඔහුගේ පුරුෂ ලිංගය කෙළින් ය. දැන් පවුලේ උදවිය මුහුණදී ඇත්තේ පියාගේ වියෝවෙන් දුක්වීමට වඩා මළ මිනියේ සෘජුවී ඇති පුරුෂ ලිංගය පහත්කර ගැනීමේ අභියෝගයට ය. පියා මළත් නම්බුව බේරා ගැනීමට ය.
ලෝකයේ බැරි නම් ආසියාවේ උසම කුලුන, ලොකුම ක්‍රීඩා පිිටිය, දැවැන්තම සම්මන්ත්‍රණ ශාලාව, ගුවන්තොටුපළ ආදී වශයනේ උසම හෝ ලොකුම එක තිබීම පමණක් ලෝකයට සංවර්ධනය පෙන්වීමේ එකම මාදිලිය ලෙස හඳුනාගත් රටක, දැවැන්තම පුරුෂ ලිංගය තිබීම පුරුෂත්වයේ (masculinity) එකම ප්‍රකාශනය ලෙස හඳුනාගත් පවුලක ඉරණමද, එකම නමකින් එකිනෙකට සමපාතව දකින්නට ලැබීම කෙතරම් අහ්ලාදජනකද? වෙනස් විදිහකට කියන්නේ නම් ලාංකේය සමාජ-සංස්කෘතික කතිකාවේ පවත්නා අන්ත දරිද්‍රතාවත්, සිනමාත්මක ප්‍රකාශනයේ පවත්නා විශිෂ්ටත්වයේ සෞන්දර්යයත් එකවිට ප්‍රකාශමාන වන අවස්ථාවක් ලෙස ‘නෙලුම් කුලුන’ චිත්‍රපටය සරලව හඳුනාගත හැකි ය. කොයි කුලුනත් ඇත්තේ අපට ඉහළිනි. මුදුන පෙනුණත් ඒවායේ පතුල පෙනෙන්නේ නැත. පතුල දකින්නට නම් අප උත්සාහ කළ යුතු ය. වෙහෙස විය යුතු ය.
ප්‍රියාන්