ලොව කතාබහට ලක්ව ඇති වාත්ස්‍යන විසින් රචිත ‘කාම සූත්‍රය’ ලියවුණා යැයි සැලකෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන හෝ හතරවන සියවස්වලදී ය. ඔහු විසින් රචනා කරන ලද කාම සූත්‍රයේ ඉන්දියාවේ ජන සමාජය, ගණිකා වෘත්තිය, අතීත භාරතයේ නොයෙකුත් භූමිකාවන් පිළිබඳ මෙන්ම ලිංගික කරුණු කාරණා බොහෝ ය.
එමෙන්ම එය විස්තරාත්මකව පුළුල් ලෙසින් සාකච්ඡා කොට තිබෙන අතර යම් යම් ගැටලු ආවරණය වන ලෙසින් කරුණු ඉදිරිපත් කිරීමටද වාත්ස්‍යන උත්සුක වී තිබුණි. වාත්ස්‍යන විසින් රචනා කරන ලද මෙම කාමසූත්‍රය මේ වන විට ලෝකය පුරා අන්තර්ජාල (online) මාර්ගයෙන් මෙන්ම ශ්‍රවණ පොතක් ලෙසින්ද ලබා ගැනීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් මෙම අත්පොත ශ්‍රීමත් රිචඩ් බර්ටන් විසින් 1883 වර්ෂයේදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. භාරතයට පමණක් සීමා වී තිබූ කාම සූත්‍රය බටහිරටද, කාන්දුවීම ඇරඹෙන්නේ එතැනිණි. සංස්කෘත අක්ෂර උපයෝගී කරගමින් වාත්ස්‍යන පඬිවරයා විසින් තඹ පත් මත ලියා තැබූ කාම සූත්‍රය බටහිර ජාතිකයන් විස්මිත කරන්නට සමත් වූයේ එකී ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය ප්‍රකාශයට පත්වීමත් සමගිනි.
යම් ආකාරයක නිර්මාණයක්, පරිවර්තනයක් හෝ අනුවර්තනයක් එළිදක්වන ලද මොහොතක එය අළලා ජනමතය තුන් ආකාරයට ක්‍රියාත්මක වීමට පුළුවන. ඉන් එක් ආකාරයක් වන්නේ එම නිර්මාණය තුළ පවතින සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගන්නා මෙන්ම විශ්වාස කරන පිරිසක් බිහිවීමයි. යම් විටෙක එහි සාරාංශගත කරුණු යම් මතයක් ලෙසින් ඔවුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙනයාමේ හැකියාවක්ද පවතී. අනෙක් ආකාරය වන්නේ එම නිර්මාණ කටයුත්ත පිළිබඳව කිසිදු විශ්වාසයකින් තොරව හා පිළිගැනීමක් නොමැතිකමින් එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමයි. තුන්වන ආකාරය වන්නේ මේ කරුණු දෙකෙන්ම එපිටට ගිය විස්තරයකි. එනම් එම පිරිස මේ නිර්මාණය පිළිබඳව සහ එහි ඇති කරුණුවල සත්‍ය-අසත්‍යතාව පරීක්ෂණයට ලක් කරමින්, නිරවද්‍යතාවය සාකච්ඡාවට ඛඳුන්කරමින් නව මතයක් ඉදිරිපත් කිරීමට සූදානම්වීම යි. නොඑසේ නම් පරිවර්තනය කරන ලද්දක් නම් එහි මූලික කරුණු ,පළමු ග්‍රන්ථයේ තිබෙන ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කිරීමයි.
චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන වෙන්ඩි ඩොනිගර් අයත් වන්නේ එම තෙවෙනි කාණ්ඩයටය. 1883 වර්ෂයේදී ශ්‍රීමත් රිචඩ් බර්ටන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද කාම සූත්‍රය ඇය අභියෝගයට ලක් කළා ය. මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් කර තිබුණේ ඇය විසින් රචනා කරන ලද ‘The mares tripe’ යන ග්‍රන්ථයෙනි.
ඇය එම ග්‍රන්ථය තුළින් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටීමට උත්සාහ කරනුයේ රිචඩ් බර්ටන් විසින් පරිවර්තනය කරන ලද කාම සූත්‍රයෙහි, ඔහු විසින් සඟවන ලද කරුණු බොහොමයක් ඇති බවය. මේ සමඟම ඇය විසින් බර්ටන් පරිවර්තනය කරන ලද කාම සූත්‍රයෙහි සඳහන් නොවූ කරුණු ගණනාවක්ම ඉදිරිපත් කිරීමට සමත් විය. පසුකාලීනව ලියැවුණු නොයෙකුත් කෘති සඳහා කාම සූත්‍රයේ සඳහන් කරුණු බර්ටන් විසින් පරිවර්තනය කරන ලද ග්‍රන්ථයෙන් උපුටා ගැනීම සිදුවූමුත් මහාචාර්යවරිය යළි යළිත් සඳහන් කරනුයේ ඔහු විසින් මුල් කෘතියේ තිබුණු කරුණු විශාල ප්‍රමාණයක් මගහැර එය පරිවර්තනය කර තිබුණු බවයි.
“කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කාම සූත්‍ර මුල් ග්‍රන්ථයේ තිබූ කිසිවක් එහි සඳහන් වෙලා තිබුණේ නෑ”
ඇය අවධාරණය කරයි.
මෙකී කරුණු හේතුවෙන් වෙන්ඩි ඩොනිගර් යළිත් කාම සූත්‍රය පරිවර්තනය කිරීමට සූදානම් වූයේ සුදීර් කාකර් සමඟ ය. ඒ 2002 වසරේදී ය. ඒ අනුව ඇය කාම සූත්‍රයේ නව පරිවර්තනය මුල් ග්‍රන්ථයේ තිබූ සම්පූර්ණ කරුණු කාරණා සහිතව පරිවර්තනය කළා ය. මෙම කටයුත්ත සමඟින් කරුණු එළිදැක්වීමෙන් ඇය පවසන්නේ පිරිමි පාර්ශ්වයන් අතර ඇතිවන සම්බන්ධතා සියල්ල ඉවත්කර පරිවර්තනය කිරීම කර ඇති නිසා මුල් ග්‍රන්ථයේ මූලික අරමුණ ඉටු නොවන බවයි. මේ සමඟම ඇය පවසන්නේ කාන්තාවන්ට ගරු කළ යුත්තේ කෙලෙසද, සැලකිය යුත්තේ කවරාකාරයටද, ලිංගික කාරණාවලදී ඔවුන්ගේ අයිතිවාසිකම් කවරේද යන්න මුල් ග්‍රන්ථයේ සඳහන් වන අයුරින්ම තමාගේ පරිවර්තිත කෘතියට ඇතුළත් කළ බවයි.
කාම සූත්‍රය සර්ව සම්පූර්ණයෙන්ම ඇය විසින් පරිවර්තනය කරනු ලැබුවද, අධිකරණයෙන් ඇයට ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. එනම් හින්දු ධර්මය, සංස්කෘතිය සහ ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ ගන්නා බවට වෙන්ඩි ඩොනිගර්ට චෝදනා එල්ල විය. මේ හේතුව නිසා වෙන්ඩි ඩොනිගර් ග්‍රන්ථය ප්‍රකාශනයට පත් කිරීමට ගිවිසුම් ගෙන සිටි ප්‍රකාශන සමාගම එය නවතා දැමීමට කටයුතු කරන ලදී. එහෙත් තමන්ගේ උත්සාහය අපතේ නොයවා යළිත් ඇය එම ග්‍රන්ථය 2015 වර්ෂයේදී වෙනත් ප්‍රකාශන සමාගමක් සමඟ එක්ව එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා ය. සම්පූර්ණයැයි සිතනා , විශ්වාස කරනා බොහෝ තැන්හි හිඩැස් ඇත්තේ එලෙසිනි.
රජිත බස්නායක