පහුගිය සතිය ආරම්භ වූයේ අනුරාධපුර රෝහලේ සේවයකළ ගැහැනු වෛද්‍යවරියක මුහුණ දුන් බරපතළ ලිංගික අතවරය සම්බන්ධ අවාසනාවන්ත පුවතිනි.
ගැහැනුන්ගේ අනාරක්ෂිත බව පටන්ගන්නේ ඉපදුණු දා සිට ය. පොඩි කාලේ ගවුම හදාගෙන වාඩි වෙන්න කියන තැන සිට ගැහැනු අනාරක්ෂිත ය. මොන සමාජ තත්ත්වයක සිටියත්, කුමන ඉගෙනීමක් ලැබුවත් ගැහැනු අනාරක්ෂිත ය. ප්‍රගතිතශීලි යයි කියන පිරිමි අතර වුව ගැහැනු අනාරක්ෂිත ය. කුමන මතවාද සහිත කඳවුරක සිටියත් එය එසේ ය. ඉස් මුදුනේ සිට කකුලේ ඇඟිලි වැහෙනතෙක් ඇන්දත් ගැහැනු අනාරක්ෂිත ය. විශාල නිදහසක් ඇති බව කියන බටහිර රටවල වුව ගැහැනු තවමත් අනාරක්ෂිත ය. තමුන්ගේම ගෙවල් ඇතුළෙත්, තමුන්ගේම පිරිස අතරත් එහි වෙනසක් නැත. ලංකාව වැනි දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳි රටක, ගැහැනුන් වෙත පැටවෙන පීඩනය තවත් අධික වෙයි. එයට හේතුව වන්නේ පුරුෂත්වය ස්ත්‍රීත්වයෙන් වෙන්වීමට නිරන්තරව උත්සහ දරන අතර, මිලිටරි ආකෘති හරහා ඊට අවශ්‍ය පසුබිම තව තවත් තීව්‍ර වීමයි. එනම් ‘නියම පිරිමියෙක්’ වීමට නම්, මිලිටරි ලක්ෂණ සහිත මිලිටරි පිරිමියෙක් විය යුතු ය යන්න යි. මිලිටරි ලක්ෂණ සහිත පිරිමියෙකු වීමට රජයේ හමුදාවකට අයත් පිරිමියකු වීම අවශ්‍ය නැත. ඒ වෙනුවට, මිලිටරි පුරුෂත්ව ලක්ෂණ වන, නීත්‍යනුකුල ලෙස බල ගැන්වූ ප්‍රචණ්ඩත්වය, ශරීරය අවදානමට හෙළීම වැනි ලක්ෂණවලට අනුගත වන ඕනෑම පිරිමියෙක් මේ ආකාර මිලිටරි ආකෘතියේ පිරිමියෙක් වන්නේ ය. තිස් වසරකට ආසන්න යුද්ධය හේතුවෙන්, මෙවැනි මිලිටරි ආකෘති වඩාත් සාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙනී යන අතර, ඒවා නිරන්තරව උත්කර්ෂයට නැංවීම තුළ වඩාත් දැඩි බවට පත්ව ඇත. එවැනි සමාජයක ජීවත්වන ස්ත්‍රියට, එම පීඩාකාරී මිලිටරි පුරුෂත්ව ආකෘතිවල බලයට නතු වීමටත්, මර්දනයට ලක්වීමටත් සිදු වෙයි.
පිරිමි වෘත්තීය සමිති
නැවත වෛද්‍යවරිය මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වය වෙත හැරුණොත්, එයට විරෝධය දැක්වීමක් ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන ලදි. එවැනි වර්ජනයක් ක්‍රියාත්මක කිරීමෙන් තම වෘත්තීය සොයුරිය වෙනුවෙන් පෙනී සිටීම අගයකළ යුතු ය. නමුත් ප්‍රශ්නය ඇත්තේ එතන නොවෙයි. ප්‍රශ්නය ඇත්තේ යමක් සිදුවූවාට පසු ඒ වෙනුවෙන් ප්‍රතික්‍රියා කරන වෘත්තීය ක්‍රියාමාර්ග නැතහොත් දේශපාලනයේ ය. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරු දෙදෙනෙක්, උපසභාපතිවරු හතර දෙනෙක්, උප ලේකම්වරු 06 දෙනෙක්, භාණ්ඩාගාරිකවරයෙක්, සංස්කාරකවරයෙක්, උප සංස්කාරකවරු දෙදෙනෙක් සහ, කාරක සභිකයින් තිස් පහක් සිටිති. ඒ අනුව, මුළු නිලධාරී මණ්ඩලය 51 වන අතර, එක කාරක සභික සාමාජිකයෙකු හැර අනෙක් සියලු දෙනා පිරිමි ය. එනම් නිලධාරී මණ්ඩල සාමාජිකයින් 50 ක් පිරිමි ය. එමෙන්ම මුළු වෛද්‍ය ප්‍රජාව තුළ ස්ත්‍රී, පුරුෂ අනුපාතය දළ වශයෙන් සමාන මට්ටමක පවතින අතර, ස්ත්‍රී වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යමින්, පිරිමි වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව අතික්‍රමණය කරන බවක් පෙනෙයි. මෙවැනි තත්ත්වයක් තුළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ත්‍රී නියෝජනයක් නොමැති වීම අතිශය කනගාටුවට කරුණකි. වෛද්‍යවරියන් මෙම තනතරු සඳහා ඉදිරිපත් නොවීම ඔවුන්ගේ වරදක් ලෙස යමෙකුට පැවසිය හැකි ය. නමුත්, බොහෝ විට කාන්තාවන් වෘත්තීය සමිති දේශපාලනයේ සහභාගී නොවීමට හේතුව, එම අවකාශ විසින් ඔවුන්ව පිළිනොගැනීම යි. කාන්තා හඬ යටපත් කිරීම, නොසලකා හැරීම, එම අවකාශ ආරක්‍ෂිත බව කාන්තාවන්ට නොහැඟීම සහ එමෙන්ම දැඩි පුරුෂ නියෝජන විසින් යම් අකාරයකට කාන්තා සහභාගිත්වය අධෛර්යමත් කිරීම කාන්තා සහභාගීත්වය මෙම අවකාශවල දක්නට නොලැබීමට හේතු ලෙස දැක්විය හැකි ය.
මෙවැනි තත්ත්වයක් තුළ, වෛද්‍යවරියන් වෘත්තීය තුළ මුහුණ දෙන ගැටලු, අනාරක්ෂිතභාවය හෝ වෙනත් ආකාර ආන්තීකරණ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති දේශපාලනයට ඇතුළු නොවන අතර, ඒවා කිසි දින වෛද්‍ය වෘත්තිකයින්ගේ ගැටලු ලෙස සමාජගත වන්නේ නැත. එනම් අනුරාධපුරයේ වෛද්‍යවරිය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම, හුදකලා සිද්ධියකට වඩා, රට තුළ කාන්තා වෛද්‍යවරියන් මුහුණ දෙන ගැටලු ප්‍රවාහයක සහ ඒ ගැටලු ඉහළ බල අධිකාරීන්ට සම්ප්‍රේෂණය නොවීමේ තත්ත්වයක ප්‍රතිඵලයකි. එබැවින්, දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබෙන රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සිතා බැලිය යුත්තේ යමක් සිදුවූ පසු ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වැනි යමක් පෙන්වීම වෙනුවට, කාන්තා වෛද්‍යවරියන්ගේ ගැටලුවලට දීර්ඝ කාලීන විසඳුම් ලැබෙන ක්‍රියා පටිපාටිවලට පිවිසෙමින් ඒ පිළිබඳ රජය දැනුවත් කිරීමයි. ඒ වෙනුවෙන් තබනා එක පියවරක් ලෙස, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ කාන්තාවට සහභාගී වීමේ සහ අදහස් ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අවකාශයක් නිර්මාණය කළ යුතු ය. පිරිමි වෘත්තිකයින් පමණක් සිටින වෘත්තීය සමිති වෙනුවට කාන්තා හඬ සහිත වෘත්තීය සමිති ඇතිකළ යුතුයි. දේශපාලනිකය තුළ කාන්තාවට හැසිරිය හැකි අවකාශයක් නිර්මාණය කළයුතු ය.
ගැහැනු වෘත්තීය සමිති
වෛද්‍යවරියන්ට තමා වෙනුවෙන් හඬ නැඟීමේ අවස්ථාව ලැබී ඇත. එය එසේ වන්නේ ඇයගේ වෘත්තීය තත්ත්වය හේතුවෙනි. ගැහැනුන්ගේ හඬ සමාජ පන්තිය, තරාතිරම හෝ වෘත්තීය මත තීරණය නොවිය යුතු ය. වත්තේ තේ දළු කඩන ගැහැනිය ඇයට වඩා බලයෙන්, තත්ත්වයෙන් වැඩි අයෙකුගේ අඩත්තේට්ටම්වලට ලක්වීම ඉතාම සරල සාමාන්‍ය දෙයක් ලෙස සමාජය වෙත මතුවීමකින් තොරව වැසී යනවා විය හැකි ය. තම රැකියාව රැක ගැනීම උදෙසා ඇය නිහඬ වනවා විය හැකි ය. ඇඟළුම් කම්හලක රෑ වැඩ මුරය වැඩ කරන ගැහැනියකට තමුන්ට සිදුවන හිංසන අඩත්තේට්ටම් වලට නිහඬව මුහුණ දෙන්නට සිදුවනවා විය හැකි ය. ගැහැනියක් ලෙස අඩත්තේට්ටම් හෝ හිංසනයට ලක්වුවහොත් එයට කතා කිරීමට ඉහළ වෘත්තික කාන්තාවකට තිබෙන වේදිකාව මේ රටේ බොහෝ ගැහැනුන්ට නැත. මෙයින් කියන්නේ ඉහළ වෘත්තික කාන්තාවකට එසේ සිදුවීම ගණන් නොගත යුතු බව නොවෙයි. ඒ වෙනුවට, සියලු කාන්තාවන් එක ලෙසම මේ සමාජයේ ක්‍රියාත්මක වන, ආර්ථික දේශපාලන සහ පුරුෂාධිපත්‍ය ආකෘති අතර හිරවී සිටින බව ය. මේ පීඩාකාරී සමාජ, දේශපාලන, ආර්ථික මෙන්ම පුරුෂාධිපත්‍ය ආකෘති නඩත්තු කිරීමට අප සියලු දෙනා විවිධ මට්ටම් වලින් සහභාගී වන්නෙමු. කළ යුතු වන්නේ මේ පීඩාකාරී ආකෘති හඳුනා ගැනීම සහ ඒවා බිඳීමට හැකි ප්‍රති ආඛ්‍යාන ගොඩ නැඟීම යි. ඒ පීඩාකාරී ආකෘති නැති කිරීම උදෙසා ගැහැනු දේශපාලනයේ සහභාගී වීම අත්‍යවශ්‍ය ය. දේශපාලනයේ සහභාගිත්වය යනු පක්ෂ දේශපාලනය පමණක් නොවෙයි. දේශපාලනයේ සහභාගීත්වය යනු තමුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යි. ඒ වෙනුවෙන් හඬ නැඟීම යි. තමුන්ගේ කතාව සමාජයට හඬගා කීම යි.
ආචාර්ය අනුෂ්කා කහඳගමගේ