ලෝකයේ ගෝලීය උණුසුම හා මිහිතලයේ ජීවය පිළිබඳ කතිකාව පැරණි ය. එහෙත් එහි පුරෝගාමීන් වූයේ පරිසරවේදීන් හෝ පාරිසරික තත්ත්වයන් පිළිබඳ උනන්දුවූ විද්‍යාඥයින් ය.
කෙසේ වෙතදු අද වනවිට මෙම තත්ත්වය පාරිසරික හෝ විද්‍යාත්මක පර්යේෂණ තලයට පමණක් සීමා නොවී දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන්ට ආමන්ත්‍රණය කරමින් සිටියි. එසේත් නොමැතිනම් පැවැත්මේ තර්ජනය මුවවිට දකින්නට ලැබෙන විට කිසිවෙකුටත් තවදුරටත් එය දෛනික ජීවිතයෙන් පරිබාහිර යයි සිතන්නට අසීරු ය.
ජාතික රාජ්‍ය සීමාවන් අභිබවා යන පාර-රාජ්‍යය (Trans National) හෝ ගැඹුරු රාජ්‍ය (Deep State) සංකල්ප අනුව කියැවීමේදී ඒවා ජාත්‍යන්තරකරණය වූ මිනිස් සබඳතා ජාලයක් බැව් සැබෑ ය. එම ජාලයට ලොව කොතැනක හෝ කේන්ද්‍රයක්ද පවතිනු නිසැක ය. එහෙත් ගෝලීය උණුසුම යනු දිගු කාලීන මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වුව තවදුරටත් මිනිසාට අතපෙවිය හැකි මානයෙන් ඔබ්බට ඔඩුදිවූ ගෝලීය අර්බුදයකි.
අපගේ දේශපාලන-සංස්කෘතික-සමාජීය සංසිද්ධි තුළ තවමත් පොහොසත් කතිකාවක් නොවූවද, ගෝලීය උණුසුම යනු නොතකා හළ හැකි තත්ත්වයක් නොවේ. එය හෙට දවසේ අපගේ දොරට තට්ටු කරනු ඇත. නොදන්නේ ඒ කුමන වේශයක් ගෙනදැයි යන්න පමණකි.