මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පමණක් සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 768.2ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක් සහ පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 367.6ක ආදායමක් සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගැනීමට හැකිව තිබෙන අතර එය විදෙස් ප්‍රේෂණ සහ ඇඟලුම් අපනයන ආදායමින් පසු තුන්වැනි විශාලතම ආදායම බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
මේ වසරේ ජනවාරි මාසයේදී උපයා තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක අගය පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේදී උපයා තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 345.7ක අගයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බව පෙන්වා දෙන මහ බැංකුව එය 11.7%ක වර්ධනයක් බව ද පවසයි.
මේ වසරේ පෙබරවාරි මාසයේ පමණක් විදෙස් සංචාරකයන් 240,217 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය පසුගිය 2024 වසරේ පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි 218,350ට සාපේක්ෂව 10%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. කෙසේ වුවද මේ වසරේ ජනවාරි මාසයේ පළමුවැනිදා සිට මේ මස 13දා තෙක් විදෙස් සංචාරකයන් 590,300 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර මේ මස මුල්දින 13ක කාලයේදී පමණක් සංචාරකයන් 97,322 දෙනකු පැමිණ තිබෙන බව එම අධිකාරිය කියා සිටී.