වැලිකඩ පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතාව හා සත්‍යග්‍රහයේදී මහජනතාවට හෝ දේපළවලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් පවත්වන ලෙසට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (17) නියෝග කළේය.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඊයේ (17) සිට 21 වන දින දක්වා වැලිකඩ පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවක් සහ සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එය වැළැක්වීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිකඩ පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය. යම් පිරිසක් ඉහත සඳහන් දින කිහිපයේ වැලිකඩ, පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස දැනුම් දී තිබුණි.
අදාළ දිනවලදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිත කරන මහජනතාවට හා පදිකයන්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්රචණ්ඩ ක්‍රියා නොකිරීමට ඒකාබද්ධ උපාධිධාරී සංගමය වගබලා ගතයුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහජන නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු වරප්රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිවලට කිසිම බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කරන අතර කිසිදු පුද්ගලයකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියලු වගඋත්තරකරුවන් හා අනුගාමිකයන් වගබලාගත යුතු බවට අධිකරණයෙන් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබීය. සිද්ධියට අදාළ වගඋත්තරකරුවන් වන, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්, මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක, බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල සහ විරෝධතාව හා සත්‍යග්‍රහයට සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරනු ලැබීය.
අධිකරණය මඟින් නිකුත් කර තිබෙන එම නියෝගය කඩ කරන්නේ නම් පොලිසියට ලැබී තිබෙන බලතල අනුව ක්‍රියාකර එම විරෝධතාවන් විසුරුවා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.