කාටවත් මඩ ගහන්න ආණ්ඩුවට ඕන නෑ
සාක්ෂි දෙන්න ඕනෑ තරම් අය ඉන්නවා
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
බටලන්ද කොමිසම පත් කළේ වත්මන් ආණ්ඩුව නොවන බවත් කිසිවකුට මඩ ගැසීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.
බටලන්දේ සිදු වූ දේ පිළිබඳ සාක්ෂි දීමට විශාල පිරිසක් සූදානමින් සිටින බවත් නිසි සාක්ෂි ඉදිරිපත් වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් නොව ඊට සම්බන්ධ බොහෝ දෙනකුට දඬුවම් විඳින්නට සිදු වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
බත්තරමුල්ල, පැලවත්ත පක්ෂ කාර්යාලයේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (17) ඒ මහතා මේ බව කීවේය.
බටලන්ද කොමිසම පත් කළේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ. හංගලා තිබූ වාර්තාවක් අප ඉදිරිපත් කර තිබෙනවා. අපට කිසිවකුට මඩ ගහන්න අවශ්‍යතාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධව ප්‍රකාශයක් කළා. එයාගෙ චෝදනා ප්‍රතික්ෂේප කළේ නැහැ. මේ වන විට බටලන්දේ සිදුවූ දේ පිළිබඳ සාක්ෂි දෙන්න විශාල පිරිසක් සූදානම් වී සිටිනවා. ඒ අතර පොලිස් නිලධාරීන් පවා සිටිනවා. එහි කටයුතු නීතියට අනුව සිද්ධ වේවි. මෙම සිදුවීමට විවේචන වර්ග දෙකක් තිබෙනවා.
රනිල් පාර්ශ්වය කියනවා මේක මඩ ගහන්න, පළිගන්න කරන එකක් කියා. තවත් කණ්ඩායමක් ඕකට දඬුවම් කරන්නෙ නැහැ කියනවා. කවුරු මොනවා කීවත් අප බටලන්ද වාර්තාව පිළිබඳ නීතියට වැඩ කරන්නෙ. කොමිසමේ සාක්ෂිවලට අමතරව තවත් පිරිසක් සාක්ෂි දෙන්න සිටිනවා. මම හිටියෙ එදා මැගසින් බන්ධනාගාරයේ. මේවා නිල ස්ථාන. ප්‍රශ්නය තිබෙන්නෙ එදා ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස මහත්වරුන්ගේ කාලයේ නිල නොවන වධ කඳවුරු පවත්වාගෙන ගියා. එදා සිටි ඇතැම් ඇමැතිවරුන් ද ඒවට සම්බන්ධයි. ඒ පිළිබඳ පරීක්ෂා කළ යුතුයි. මේක සංකීර්ණ වැඩක්. සාක්ෂි එකතු කර ගන්න ඕනෙ. අප රටේ පසුගිය කාලයේ සිදුවූ අපරාධ ඝාතන පිළිබඳ පරීක්ෂා කළ යුතුයි. ඝාතනය වූවන්ට සාධාරණය ඉටු කරන්න ඕනෙ. මාධ්‍යවේදීන් ඝාතනය කළ අයුරු අපට මතකයි. මේවා අතර අප ජනතාවගේ ප්‍රශ්න ද විසඳිය යුතුයි.
පසුගිය පාලන කාලයන් තුළ සිදුවූ ප්රජාතන්ත්ර විරෝධී අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ තිබෙනවා. අපට ලැබුණ ජනවරම අනුව ඉදිරියේ දී ඒ සම්බන්ධව කටයුතු සිදු කරනවා. අප නීතිය අභිභවා වැඩ කරන්නෙ නැහැ. අපරාධවලට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කිරීම අපේ වගකීම. අප පිළිවෙළකට කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් නිසා අපේ වගකීම් අප ඉටු කරනවා යැයි ද කීවේය.
උපාලි කරුණාරත්න
රනිල්ට තිබුණු එකම චෝදනාව පොලිස් නිලධාරීන්ට නිවාස දීමයි
එජාප සභාපති වජිර අබේවර්ධන
බටලන්ද කොමිසම් වාර්තාව මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් වී ඇති එකම චෝදනාව පොලිස් නිලධාරීන්ට නිවාස ලබාදීම පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
කොළඹ මල් පාරේ, හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ නිවාස ලබාදීම, රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි නීතිය යටතේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන අත්පත් කර ගැනීම පමණක් බව ද ඒ මහතා කීය.
“ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් සමු ගත්තාට පසු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී කටයුතු කළමනාකාරීත්ව මණ්ඩලයට පවරා රටේ වෙන දේ පිළිබඳ බලා සිටියා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට මේ අය මෙච්චර බය ඇයි කියලා තේරෙන්නේ නැහැ. 1994 න් පසු රනිල් වික්‍රමසිංහ මහතාව දේශපාලන වශයෙන් ඝාතනය කිරීමට බටලන්ද කොමිෂන් සභාව පිහිටෙව්වා. එය සම්පූර්ණයෙන්ම දේශපාලන වශයෙන් පළිගැනීමේ ක්‍රියාවලියක්. එම කොමිසම් වාර්තාව රජය විසින් පිළිගැනීම ගැන සතුටු වෙනවා යැයිද හෙතෙම කීවේය.
එම කොමිසම් වාර්තාව මඟින් 1971, 1987-89 වර්ෂවල සිදු වුණු සිදුවීම් මාලාව ගැන සඳහන් කර තිබෙනවා. විශේෂ විග්‍රහයක් පිටු එකසිය ගණනක සටහන් වී තිබෙනවා. පළමුව 1971 කාලයේදී පොලිසිවල තිබුණු අවි ආයුධ පැහැර ගැනීම සිදු වුණා. බැංකු කොල්ලකෑම් සිදු වුණා. ජනතාවගේ මුදල් බලහත්කාරයෙන් ගැනීම සිදු වුණා. කැරැල්ලකට අවශ්‍ය පෙරහුරුව සිදු කරමින් අපේ සමාජයට ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි පසුබිමක් නිර්මාණය කර දුන්නා. ඊළඟට 1987, 1988, 1989 වකවානුව තුළ නැවතත් අවි ආයුධ සහිත සමාජයක් ඇති වුණා . මේ තත්ත්වයම උතුරු නැඟෙනහිරත් LTTE සංවිධානය විසින් ආරම්භ කර සියලු දේශපාලන පක්ෂ මර්දනය කිරීම සිදු වුණා යැයි ද පැවසුවේය.
ශිරෝමි අබයසිංහ