මෙරටට පැමිණෙන සංචාරකයන්ට ගුණාත්මක යටිතල පහසුකම් හා සේවා සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරින්ට ඊයේ (17) උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය.
මෙවර අය-වැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.
සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයන් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදාගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.