උඩවලව ප්‍රදේශයේ පහළ ආඳොළුව ගමේ සාමණේර හිමිවරුන් 30කට ආසන්න පිරිසක් ඉතා දුෂ්කරව වැඩසිටින පුවතක් දිනමිණ ට වාර්තා විය.
මෙම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් උඩවලව පහළ ආඳොළුව ග්‍රාමයේ පිහිටා ඇත. එහි වත්මන් භාරකාර විහාරාධිපති හිමි ගල්වංගෙඩියායේ උදිත හිමියෝ කටයුතු කරති.
උදිත හිමියෝ මෙම පන්සලට වැඩම කර වසර 11ක් පමණ ගතවී තිබෙන බව උන්වහන්සේ පවසති.
මම 2012දී මේ පන්සලට එනවිට අඩිපාරක් පමණයි පන්සලට එන්න තිබුණේ. මේ ස්ථානයේ පන්සලක් හැටියට දැනගන්න තිබුණේ බෝගහයි, අඩි හතරයි හතරක වගේ පුංචි බුදුකුටියක් සහ ගඩොලින් බැඳලා කපරාරු නොකළ ආවාස ගෙයයි පමණයි.
දාන ශාලාවයි කුස්සියයි දෙකම කටුමැටි ගහලා හදපු ඉදිකිරීම් දෙකක් විදිහටයි තිබුණේ. මේ කාලය තුළ මම දැනට ඉන්න ආවාස ගෙය, පුංචි හාමුදුරුවෝ වැඩ ඉන්න ආවාස ගෙය, චෛත්‍යය, අසූ මහා ශ්‍රාවක පිළිම වහන්සේ ගොඩනඟන්න පුළුවන් වුණා. නමුත් වසංගතෙන් පසුව තවමත් අසූමහා ශ්‍රාවක පිළිම වහන්සේලාගේ ඉතිරි වැඩ අවසන් කරගන්න බැරි වුණා.”
සාමණේර ස්වාමින් වහන්සේලා වැඩි පිරිසක් මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන අතර මෙම විහාරස්ථානය ප්‍රදේශයේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධව පවතින්නේ Òපොඩි හාමුදුරුවෝ ගොඩක් ඉන්න පන්සලÓ යන අන්වර්ථ නාමයෙන්. තවද මෙම විහාරස්ථානය පහළ ආඳොළුව පන්සල සහ සුදර්ශනාරාමය යන නම්වලින්ද හැඳින්වෙන අතර, මෙම විහාරස්ථානය තුළ මේ වනවිට ස්වාමින් වහන්සේලා 30 නමක් පමණ වැඩවාසය කරන බව එහි ගිය අපට දැකගත හැකි විය.
මෙම විහාරස්ථානය පිළිබඳව අසන්නට ලැබෙන විශේෂිත කරුණක් පිළිබඳව විහාරාධිපති හිමි අප සමඟ අදහස් පළකර සිටියා.
“මේ පන්සල ගැන හැමෝම දන්නේ පොඩි හාමුදුරුවෝ ගොඩක් ඉන්න පන්සල කියලයි. මේ පන්සලේ පොඩි හාමුදුරුවෝ 30 නමක් පමණ වැඩ ඉන්නවා. විවිධ ප්‍රශ්න නිසා සසුන්ගත වුණු ස්වාමින් වහන්සේලා තමයි වැඩි සංඛ්‍යාවක් මෙහි වැඩ සිටින්නේ.
2012 වසරේ මම මුලින්ම මේ පන්සලේ මහණ කළේ දමිළ දරුවෙක්. මේ පසුවත් මම අවුරුදු 3යි මාස 2ක පුංචි දරුවෙක් කවලා පොවලා පෙරපාසල් යවලා බලාගන්නවා. දරුවත් මට ලැබුණේ අවුරුදු 2ක් වයසේදී. පරිවාස භාරයේ සිට නිදහස් වූ දරුවන් කිහිප දෙනකුත් මම මහණ කළා මේ පන්සල තුළ. මම මේ වනවිට දරුවෝ 200කට ආසන්නව සසුන්ගත කරලා තියෙනවා.”
”මේ විහාරස්ථානයේ ඉන්න සමහර සාමණේර හිමිවරු ගිහි කාලයේදී මව පියා අහිමි වුණු, මව පියා අතහැර ගොස් තිබූ, ආච්චි අම්මා සීයා ළඟ හැදී වැඩුණු, පුංචි දරුවෝ.
පුංචි දරුවෝ මල් වගේ. පුංචි හිත් ලාමකයි. වැරදි දේකට යොමු වෙන්න තියන අවකාශය වැඩියි. මේ සමහරු නිසා ගොඩක්ම පුංචි වයසේදීම දරුවෝ මේ විහාරස්ථානයට ගෙනැවිත් භාර දෙන්නෙ. මේ විහාරස්ථානය තුළ මම මේ දරුවන් හදාවඩා ගන්නා ආකාරය සහ සාමණේර හිමිවරු සිටින ආකාරය බොහෝ වෙනස්.
මේ විහාරස්ථානයට කිසිම පිටස්තරයකුට මම එන්න දෙන්නේ නැහැ. කිසිම ගිහි පිරිමි දරුවකුට පොඩි හාමුදුරුවෝ ආශ්‍රය කරන්න දෙන්නේ නෑ. දුරකතන භාවිතයක් නැහැ. රූපවාහිනිය අනවශ්‍ය ලෙස නරඹන්න දෙන්නේ නැහැ. විශේෂ යමක් තිබුණොත් මම හැමෝම එක තැනකට රැස් කරලා රූපවාහිනිය නරඹන්න අවස්ථාවක් දෙනවා.
නමුත් මේ ස්වාමින් වහන්සේලා තවම ළමා කාලය ගත කරන්නේ. මේ නිසාම සෙල්ලම් කරන්න වේලාවක් තියෙනවා. අධ්‍යාපන කටයුතුවලට වෙනම වෙලාවක් තියෙනවා.”
විහාරස්ථානයේ සාමණේර හිමිවරුන්ගේ අධ්‍යාපනය පිළිබඳව විමසූ අපහට දැනගන්නට ලැබුණේ, උඩවලව රෝහල අසල මධ්‍යස්ථානයක දී පිරිවෙන් අධ්‍යාපනය සඳහා හිමිවරු 18 නමක් යොමුවන බවයි.
එසේම ගොඩකවෙල පිහිටි මහින්දාරාමය විහාරස්ථානයේ අධ්‍යාපනය සඳහා තවත් හිමිවරු පිරිසක් ද ගොඩකවෙල කොස්නාතොට පිරිවෙනේදී අධ්‍යාපනය සඳහා තවත් හිමිවරු කිහිප දෙනෙක් යොමු වන බවයි.
මෙම පිරිවෙන්හි අධ්‍යාපනයට වැඩම කරන හිමිවරුන්ගේ ගමන් පහසුව සපයා දෙන්නේ අසල විහාරස්ථානයක තිබෙනු කැබ් රථයක් උපයෝගි කර ගෙනයි. ඒ සඳහා දිනකට තෙල් කුලිය ලෙස රුපියල් 2000ක පමණ මුදලක් වැය වන බවත් දැනගන්නට ලැබුණි.
පහළ ආඳොළුව ගම්මානය තුළ මෙම විහාරස්ථානය අසල පවුල් 587ක් වෙති. ගම්මානය තුළ විහාරස්ථාන ත්‍රිත්වයක් පිහිටා ඇති අතර එහි විහාරස්ථාන ත්‍රිත්වයට මෙම පවුල් 587 කොටස් වශයෙන් දානය ලබා දෙන බව දැනගන්නට ලැබුණි. තවද මෙම විහාරස්ථානය සඳහා පවුල් 100ක් පමණ දානය පිරිනමනු ලබයි.
මෙම වසරේ මාර්තු මාසය දක්වා පමණක් එම දානය පිරිනමන බව විහාරාධිපතියෝ හිමියෝ කීහ.
“මාර්තු මාසෙට පස්සෙ දානයක් දෙන්න දින වෙන් කරලා නැහැ. නමුත් කොරෝනා ආවට පස්සෙ අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. සමහර දවස්වලට දවසටම එක දාන වේලක් පමණයි අපිට ලැබෙන්නෙ.
හාමුදුරුවෝ තිස් නමකට දානය දෙන එකත් මේ වගේ දුෂ්කර ගමක මිනිස්සුන්ට ගොඩක් අපහසු කාරණාවක්. රජයේ රැකියා කරන අය පවුල් 10ක් වත් මේ ගමේ නැහැ. පොඩි හාමුදුරුවෝ නිසා එක වේලක් දානයක් දීලා ඉන්න අමාරුයි. තාම පුංචි දරුවෝ. කිසිදෙයක් තේරෙන්නේ නෑ. ඉතින් සමහර දවස්වල මම කඩෙන් පිටි පැකට් එකක් ගෙනැල්ලා හදලා දෙනවා.
අපේ පන්සල කිසිම ආදායම් මාර්ගයකින් පාලනය වෙන පන්සලක් නෙවෙයි මහත්තයෝ. විශ්වවිද්‍යාලයට මේ වසරේ ඇතුළත්වුණු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්නාන්සේටත් සම්පූර්ණ වියදම් කරන්න ඕනෑ. මේ හැමදෙයක්ම කරන්නේ, මම හඳහන්, කේන්දර බලලා, නැකතක් හදලා දීලා ඒ ලැබෙන සුළු මුදල්වලින්.
30 නමකට උගන්වන එකත් ලේසි කාරණයක් නෙවෙයි. ගොඩක් දක්ෂ සාමණේර හිමිවරු මේ පන්සලේ වැඩ ඉන්නවා. රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා තිබෙන පන්සල් අතරින් මේ පන්සලේ තමයි එකම යුගාසන කවිබණ කියන පොඩි හාමුදුරුවෝ දෙන්නම ඉන්නේ. ඉතින් එහෙම පුංචි හාමුදුරුවන් වහන්සේලාට මම රැකවරණ නොදුන්නා නම් මොන පැත්තකට මේ ජීවිත වෙනස් වෙයිද කියන්න අමාරුයි .”
මේ වනවිට විහාරස්ථානය සඳහා සූර්යකෝෂ කිහිපයක් ලැබී තිබුණ ද තමත් සවිකර ගන්න බැරි වුණා. විහාරස්ථානයේ විදුලි බිල ගෙවා දැමීමටද කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව විහාරාධිපති හිමියෝ කීහ. විහාරාධිපති උදිත හිමියෝ ධානපතීන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමණේර හිමිවරුන්ට පිහිටක් විය හැකි නම් එය මහඟු පිංකමක් වන බවයි. ඒ සඳහා 072 50 28 354 – 077 634 4730 දුරකතන අංකවලට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටියි.
විහාරස්ථානය පිළිබඳ තොරතුරු උඩවල පොලීසිය, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකාය, උඩවලව ශාසනාරක්ෂක බලමණ්ඩලය සහ පහළ ආඳොළුව ග්‍රාම සේවක නිලධාරිතුමා මඟින් ද ලබාගත හැකි බව විහාරාධිපති උදිත හිමියෝ කීහ.
අවට සිටින කෙනකුට මොනරාගල දිස්ත්‍රික්කය බලා ගමන් කිරීමේදී උඩවලව ප්‍රදේශයේ සංඛපාල විහාරස්ථානය පසුකර මදක් ඉදිරියට ගමන් කළවිට නගරයේ ආර සති පොළ අසලින් දකුණුපසින් පවතින මාර්ගය ඔස්සේ පැමිණීමෙන් මෙම විහාරස්ථානයට ප්‍රවේශ වීමේ හැකියාව පවතී.