කොළඹ ප්‍රධාන මහේස්ත්රාත් අධිකරණයේ අංක 5 අතිරේක මහේස්ත්රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (17) නියෝග කළේය.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.
සිද්ධිය වූ දින සැකකාර ගණේමුල්ල සංජීව නමැත්තා මෙම සැකකාර ජේලර්වරයා විසින් අධිකරණයට රැගෙන විත් තිබෙන අතර කිසිදු සැලකිල්ලක් නොදක්වා ඔහු විසින් රාජකාරිය කර ඇති බවද කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීහු සඳහන් කරනු ලැබුවේ, සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වී ඇති බවත් ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවය.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන වෙඩික්කරු අධිකරණ භූමිය තුළදී ගණේමුල්ලේ සංජීව හට වෙඩි තබා පලා ගිය අවස්ථාවේ එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.
මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සඳහා සැකකරුගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන ලෙසද කොළඹ දිසා අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම්වලට අවසර ලබා දුන් අතර අදාළ සැකකරු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.