ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට මූලික වූ හේතු සාධක කවරේද යන්න ඉතා විශ්ලේෂණාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇති ආකාරය අල්ලස, දූෂණය වහා නතර කිරීමට ඔවුන් සිදු කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත යුතු ආකාරය ඒ ආදී කරුණු කාරණා පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය හා ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු අධ්‍යක්ෂ එච්. එම්. ගුණතිලක මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථාපිත කරනුයේ වසර 1945දීය. මෙවැනි ආයතනික හමුවක් ස්ථාපිත කරලීමේ අරමුණ වූයේ ඒ වන විට ලොව රටවල් මුහුණ දුන් එක් ප්‍රධාන ආර්ථික අභියෝගයකට විසඳුම් සපයාදීමටය. විශේෂයෙන් ලෝකයේ ඕනෑම රටක් තම අපනයන ආදායම්වලට වඩා ආනයන වියදම් අභිභවා ගිය විට ඇතිවන ගෙවුම් ශේෂ හිඟයන්වලින් පීඩාවිඳින්නේ නම් එම රටවලට ඊට සහායවීමට යන්ත්‍රණයක් තිබිය යුතු විය. මෙවැනි ශක්තිමත් මූල්‍ය සහායක් ලබාදීමට හැකි මූල්‍ය යන්ත්‍රණයක් සැකසීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිහිවිය.
විදේශ වෙළෙඳාම ඕනෑම රටකට සිදු කළ හැකි කටයුත්තක් විය. ඒ අද මෙන්ම එදා ද ලෝකයේ වානිජ ගනුදෙනු සිදුවූ නිසාවෙනි. මෙලෙස විදේශ වෙළෙඳාමේ නියැළී සිටින රටවලට තම අපනයන ආදායමින් ආනයන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන්නේ නම් එය ගැටලුවකි. මේ ආකාරයේ ගැටලු නිසා ඇතැම්විට ලොව රටවල ආර්ථික අර්බුද, සමාජ ප්‍රශ්න පැන නඟියි.
වෙළෙඳ හිඟය
අපනයන ආදායම්, ආනයන වියදම් අතර පවතින දැඩි වෙළෙඳ හිඟයන් දිගුකාලීනව වැඩි වෙමින් පැවැතීම රටකට ඔරොත්තු නොදෙන තත්ත්වයකි. මේ ගැටලුව විසඳීමට පිහිටවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එවැනි රටවලට මූල්‍ය පහසුකම් ලබාදීම සිදු කරයි. ඊට අමතරව වෙළෙඳ හිඟයන් දිගුකාලීනව ඇති නොවන ආකාරයට තම තම රටවල ආර්ථිකයන් මනාව කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ පෙන්වා දෙයි. රටකට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට මුල් යුගයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියා කළේ Stand By Agreement (SBA) එකඟතා මතය. පසුකාලීනව එය Extended Fund Facility (EFF) ලෙස ද ලබාදීමට පියවර ගෙන තිබේ.
වසර 1945දී ආරම්භ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවට ඇත්තේ දිගුකාලීන ඉතිහාසයකි. අප රටක් ලෙස මේ අරමුදලින් මේ වන විට 17 වතාවක් මූල්‍ය පහසුකම් ලබාගෙන තිබේ. එම අරමුදල මූල්‍ය පහසුකම් ලබාදෙනුයේ වසර 04 – 06 කාලසීමාවකටයි. එවැනි ආකාරයට අප ණය පහසුකම් ලබාගැනීමේදී 12 වතාවක් ඒ එකඟතා ඇතිකර ගත් පරිදිම අප රට කටයුතු කොට ඇත. අවස්ථා 04කදී අප ඔවුන් සමඟ ඇතිකර ගත් එකඟතා අතරමඟදී නතර කර දමා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලොව ඕනෑම රටකට මූල්‍ය පහසුකමක් ලබාදෙනුයේ ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගැනීමටයි. ඊට අමතරව ඔවුන් ප්‍රධාන කරුණු 04ක් ජය ගැනීමට උපදෙස්, මඟපෙන්වීම් ලබා දේ. ලොව ඕනෑම රටක රජයේ අය වැය හිඟය අඩුකර ගැනීම, දේශීය හා විදේශීය ණය ප්‍රමාණය අඩුකර ගැනීම, උද්ධමනය පාලනය කර ගැනීම සහ විනිමය අනුපාතය යහපත් මට්ටමක පවත්වා ගැනීමට මඟපෙන්වීම් ලබාදෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබාගෙන රටේ ආර්ථික වර්ධනයක් ඇතිවන ආකාරයට කටයුතු කළ සෑම විටකදීම රටේ ආර්ථිකය ස්ථාවර විය. එසේ නොවී ඉන් ඉවත් වූ විට ඕනෑම රටක විවිධ ප්‍රශ්න නැවත වතාවක් ඇති විය.
ගෙවුම් ශේෂ හිඟය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ ඕනෑම රටකට මූල්‍ය පහසුකම් ලබාදෙනුයේ ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට හා ජාතික අය වැය හිඟය රටකට දැරිය හැකි මට්ටමකට පවත්වාගෙන යෑමය. මෙම උපදෙස් මඟපෙන්වීම් අමතක කොට ඉන් බැහැර වී කිසියම් රටක් ක්‍රියා කරයි නම් එම රටවලත්, ජනතාවත් නැවත වතාවක් අභියෝගයන්ට ලක්ව පීඩාවට පත්වන බව පැහැදිලි කරුණකි. ශ්‍රී ලංකාවට සිදු වූයේ ද එයයි. අප රටක් ලෙස දෙස් විදෙස්වලින් විශාල ණය මුදලක් ලබාගෙන ආර්ථික වශයෙන් ඵලදායි නොවන ආයෝජන සිදුකොට, නැවත ණය ආපසු ගෙවීමට නොහැකිවීම නිසා බරපතළ අර්බුදයකට මුහුණපෑ අයුරු සිහිපත් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකොට ඇතැම් දේශපාලනඥයින් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා දේශපාලන උවමනාවන් පෙරදැරි කරගෙන රටත්, රටේ ආර්ථිකයට ඉන් සිදුවන අහිතකර බලපෑමත් නොතකා කටයුතු කිරීමෙන් විශාල ප්‍රශ්න මතුවේ.
ලබාගන්නා ණය මුදල් යොදාගෙන ආර්ථික වශයෙන් ඵලදායි නොවන නිශ්ඵල ව්‍යාපෘති ආරම්භ කිරීම, ආයෝජන මුදල් ගසාකෑම, රටක සිදුවී නම් එය බරපතළ තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ අපට ද එවැනි දේකට මුහුණදීමට සිදු විය. ආර්ථික අවකළමනාකරණය සහ අල්ලස, දූෂණය, වංචාව මුල්කොට සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහජන මුදල් ගසාකෑම සිදු විය. එය අප රට බංකොලොත් වීමට විශාල ලෙස බලපෑ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ඉතා ගැඹුරින් කරුණු විශ්ලේෂණය කොට එළිදැක්වූ වාර්තාවකින් කියා තිබේ. ශ්‍රී ලංකාව මුල්වරට ලබාගත් විදේශ ණය හා වාරික ආපසු ගෙවීම අත්හිටුවිය. ඒ සමඟ රටේ ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගැනීමට නොහැකි ආකාරයට ආර්ථිකය කඩා වැටුණි.
පීඩාවට පත් ජනතාව
වසර 2019 – 2020 කාලසීමාවේ අය වැය හිඟය ඉතා විශාල ලෙස ඉහළ ගියේය. ආර්ථිකයේ එතෙක් පැවැති සමතුලිතතාවය බිඳ වැටුණි. උද්ධමනය සියයට 78ක් දක්වා ද පොලී අනුපාත සියයට 30 සීමාව ඉක්මවා ද , එක්සත් ජනපද ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය 365 සිට 380 දක්වා ද ඉහළ ගියේය. මින් සමාජයේ ආර්ථික පීඩනයක් ඇති කරලීය. ජනතාව පීඩාවට පත්විය. මේ අවස්ථාවේ අපට පිහිටට ආවේ ඉන්දියාවය. ඔවුන් ඩොලර් බිලියන 4.8ක්ද, බංග්ලාදේශය ඩොලර් මිලියන 300ක් ද අපට ලබාදුනි. ඒවා ඉතා අත්‍යාවශ්‍ය මොහොතේ අපට ලබාදුන් අප විසින් අගය කළ යුතු මූල්‍ය පහසුකම්ය. ඒ අවස්ථාවේ තවත් රටවල් ද අපට උදව් කළ බව සිහිපත් කළ යුතුය.
මේ වන විට ශ්‍රී ලංකාව වසර 33ක කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුකොට ඇත. මෙම ගනුදෙනු කාලවලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටුණු තැනින් නැඟිට වර්ධනය වීමක් සිදු වී තිබෙන බව අපට දැකිය හැකිය.
වසර 2022දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණි. එම වසරේ අප්‍රේල් 12 වැනිදා ඉතිහාසයේ ප්‍රථම වතාවට අප රටක් ලෙස දේශීය හා විදේශීය ලෙස ලබාගත් ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශයට පත් කෙළේය.
මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට සිදු විය. එය ගැන විවිධ පාර්ශ්වවලින් විවිධ අදහස් ඉස්මතු විය. ඇතැමෙකු IMF වෙත යායුතු යැයි කීවද? අයෙකු එහි නොයා යුතු යැයි යෝජනා කළේය. කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට එම අරමුදල වෙත යෑමට සිදුවිය.
විදේශ ආයෝජන දිනා ගැනීම
එසේ අරමුදල වෙත යෑම ප්‍රමාද කිරීම නිසා අප රටේ ජනතාවට මුහුණපෑමට සිදු වූයේ අමිහිරි මතකයන් ගොන්නකටය. අපට පිටරටින් ඉන්ධන, ගෑස්, ආහාර,බෙහෙත් ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් එක්සත් ජනපද ඩොලර් නොතිබීම නිසා මේවා ලබා ගැනීමට රටේ මහා දිගු පෝලිම් ඇති විය. ජනතාව ඉන් පීඩාවට පත්විය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ 17 වැනි වතාවට මූල්‍ය පහසුකමක් ලබාගැනීමට වසර 2023දී කටයුතු කළේය. එය වසර 2023 සිට 2028 දක්වා දිවෙන්නකි. මේ ආකාරයට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟතාවයකට පැමිණීම නිසා අත්වූ වාසි ගණනාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප රටට මූල්‍ය පහසුකමක් ලබාදීමට එකඟවීම මත අප රටට නැවත දෙස් – විදෙස් ණය ලබා ගැනීමට නව ඍජු විදේශ ආයෝජන දිනා ගැනීමට හොඳ යහපත් සංඥාවක් ලබා දුන්නේය. මෙතෙක් කලක් ශ්‍රී ලංකාව නිසි ආකාරව ණය ආපසු ගෙවීමට නොහැකි රටක් ලෙස සිටියද IMF එකඟතාවය මත නැවත වතාවක් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ අප රටට ඉහළ පිළිගැනීමක් හිමිවන ලෙස ශ්‍රේණිගත කිරීම් ඉහළට දැමුවේය. ඒවා පහළ දැමූ විට ලොව කිසිම ආයෝජකයකු එවැනි රටවලට නොපැමිණේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල යහපත් සංඥා නිකුත්වීම, නැවත වතාවක් අපට පහසුවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකිවීම යනාදි සියල්ල සිදුවීමට IMF නව එකඟතාවය මුල් විය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඇතැම් දෙනා මවා තිබෙන්නේ එය බිල්ලෙකු ලෙසය. IMF බිල්ලෙකු ලෙස මවා තිබෙනුයේ ඇතැම් දේශපාලනඥයින් හා ජනමාධ්‍ය කිහිපයක් මඟිනි. නමුත්! ඔවුන් රටවල් විනාශයට පත්වන ආකාරයේ මූල්‍ය විසඳුම් ලබාදෙන බව නම් කිව නොහැකිය. කිසියම් දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයින් තම හිතුමතයට මහජන මුදල් ගසාකෑමට ඵල රහිත මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සිදු කරන මුවාවෙන් නාස්තිකාර වියදම් සිදු කරයි නම්, ඉන් ජනිත වන අහිතකර ප්‍රතිඵලවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක් කරන්නද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ආරම්භ පරමාර්ථ මත ම රැෙඳමින් එක තැන පල් නොවේ. එය කාලීනව වෙනස්වෙමින් ලෝකයේ විවිධ රටවල අවශ්‍යතා සපුරාලීමට නම්‍යශීලී වී තිබේ. මුල් අවධියේදී දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිසට සහන සැලසීම පිළිබඳව ඔවුන් එතරම් අවධානයක් යොමු කළේ නැත. මේ වන විට එම තත්ත්වය වෙනස්කොට සමාජයේ යම් සරණක් අවශ්‍ය පිරිස් වත උදව් කිරීමට වුවමනා බව IMF පිළිගෙන ඇත. නවතම දත්තයන්ට අනුව කාලගුණික විපර්යාසයන්ගෙන් රටවලට වන හානි සහ ආපදාවන්ගෙන් මිදීමට ද ගන්නා පියවරයන්ට IMF උදව් කරමින් සිටියි.
දූෂණය තුරන් කිරීම
ඔබ සිරෝෂියස් රෝගය වැලඳුණු රෝගියෙකු ගැන සිතන්න. ඔහු වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ප්‍රතිකාර ලබා ගනිමින් ඒ අනුව ලබාදෙන බෙහෙත් නියමිත පරිදි ගනිමින් සුවසේ සිටී නම්, ඔහුට රෝහලෙන් නැවැතී සිටි කාලය නිමා කර නිවසට යෑමට අවස්ථාව හිමිවනු ඇත. ඔහු රෝහලෙන් පිටවී ආ දින සිට නැවැත වතාවක් මත්පැන් පානය කරමින් රෝගය උත්සන්න වන ආකාරයේ ක්‍රියා කරයි නම්, අපි වෛද්‍යවරයාට දොස් පැවරීමෙන් ඵලක් නැත. රෝගියා තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය. බෙහෙත්හේත් ගත යුතුය. එසේ නොකොට වෛද්‍යවරයාට දොස් පැවැරීම වැනි ක්‍රියාවක් අප ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිදු කරනවාදෝයි විටෙක අපට සිතේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මෙරටට ලබාදුන් නව මූල්‍ය පහසුකමේ තුන්වැනි වාරිකය ද නිදහස්කොට ඇත. එය ලබා ගැනීමට කටයුතු කළ ජනාධිපතිවරු දෙදෙනෙකු සිටියහ. තුන්වැන්නා වත්මන් ජනාධිපතිවරයාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය පහසුකම ලබාදෙමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල විශ්ලේෂණයක් සිදු කර ඇත. එනම්, මෙරටට මෙවැනි ආර්ථික අභාග්‍යයකට ගොදුරුවීමට සිදුවූයේ අවකළමනාකරණය හා අල්ලස, දූෂණ නිසා බවය.
ශ්‍රී ලංකාවට දූෂණයෙන්, නාස්තියෙන් තොරව ඉදිරියට යෑමට මේ අරමුදල මඟින් ඉතා විශ්ලේෂණාත්මක කරුණ ගොන්නක් පෙන්වා දී තිබේ. එම කරුණු හා නිර්දේශ ක්‍රියාත්මක කරමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය කටයුතු කළ යුතුය.
ජනාධිපතිවරයා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම යනු ඔහු IMF වැඩසටහනේම ගමන් කරන්නෙකු යැයි කෙනෙකු චෝදනා කරන්නට ද පුළුවනි. එසේ චෝදනා ලබමින් පවා ඉන් ඉවත් නොවී ඔහු පෙරට යන්නේ නම්, ඉන් හැඟී යනුයේ ජනාධිපතිවරයාගේ රට, ආර්ථික වශයෙන් යළි නඟාසිටුවීමට හා ජනතාව යළි පීඩාවට පත් නොවන තැනකට කටයුතු කිරීමට ඇති දැඩි උවමනාව හා ඍජු අධිෂ්ඨානශීලි බවය. රටත්, ජනතාවත් යළිත් අමාරුවේ නොදමා රට ආර්ථික වශයෙන් නිවැරැදි මාර්ගයේ ගමන් කරවීමට ජනාධිපතිවරයා දරන වෑයම අප අගය කළ යුතුය.
ජයසිරි මුණසිංහ