‘සරසවිය බැලුම’ සෙක්නි – වෙත්වා කිවි දනෝ
පෙදෙහි රස හව් විඳුනා – දෙනෙතා ඉතා දුලබෝ’
දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේ ලියවුණු ‘කව්සිළුමිණ’ ග්‍රන්ථයේ එවැන්නක් සඳහන් වෙයි.
එහි සරල අදහස නම්: ‘සරසවියගේ බැලුම් මාත්‍රයකින් වුව කෙනකු කවියකු වනු ඇත. එහෙත් කවියෙහි රසභාව විඳින ජනයා නම් ඉතා දුලබය’ යන්න ය.
මේ කාව්‍ය ඛණ්ඩය අපට සිහිපත් වූයේ පසුගියදා මැදිරිගිරිය ප්‍රදේශයේදී පැවැත්වුණු සංගීත සංදර්ශනයකින් පසුව ඇති වූ රසික හැසිරීමේ ප්රචණ්ඩත්වය හේතුවෙනි. ජනප්‍රිය ගායක කණ්ඩායම් සහ සංගීත කණ්ඩායම් සම්බන්ධ වනවා යැයි කියවුණු එකී ප්‍රසංගය අවසාන වූයේ යුද පිටියක් බඳු ප්රචණ්ඩකාරීත්වයකිනි. මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි එමඟින් සිදු වූ අලාභ හානිය රුපියල් කෝටි හතරකට වඩා වැඩි ය. නවීනතම සංගීත උපකරණ සහ භාණ්ඩ ඇතුළු බොහෝ දේ කුපිත වූ රසික සමාජය විසින් කුඩු පට්ටම් කර තිබිණි. එයට හේතුව ලෙස සඳහන් කොට තිබුණේ පූර්ව ප්රචාරයේදී සඳහන් කරන ලද ගායකයන් කිහිප දෙනකු ප්‍රසංගය සඳහා සම්බන්ධ නොවීමේ ගැටලුවයි.
උක්ත ගැටලුවට වැරදිකරුවන් හෝ නිවැරදිකරුවන් සොයා බැලීම අපට අදාළ කාර්යයක් නොවුණත්, එහිදී දිස් වූ ප්‍රචණ්ඩකාරි, නොගැළපෙන, නොහික්මුණු හැසිරීම තාරුණ්‍යයට තරම් නොවන බව ලියා තැබීම අපගේ අරමුණ වේ. හරිහමන් මූලික අධ්‍යාපනයක්, රසවින්දනයක්, සමාජ දැක්මක් ඇති තරුණ ප්රජාවකගේ අතින් එවැන්නක් සිදු විය නොහැකි ය. එමෙන් ම මෙය මූලික කොට ගෙන සමස්ත මැදිරිගිරියේ තරුණ ප්‍රජාව මෙසේ යැයි හෝ රටේ සමස්ත තාරුණ්‍යයේ, නව පරම්පරාවේ මනෝ ස්වභාවය මේ ආකාර යැයි කීමට අපි කලබල නොවෙමු.
මෙහිදී ප්‍රදර්ශනය වූයේ රටේ එක්තරා තරුණ පිරිසකගේ ආවේගශීලි, ප්‍රචණ්ඩකාරි හැසිරීමකි. ඔවුන්ට කලාවේ හා රසවින්දනයේ මූලික සිද්ධාන්තයවත් අවබෝධ වී ඇති දැයි අපි නොදනිමු. එහෙත් එය අවර ගණයේ, බාල හැසිරීමක් බව ලියා තබමු.
කලාව හා රසවින්දනය නිර්මාණය කරනුයේ උසස් ශිෂ්ටාචාරයක් සහ සභ්‍යත්වයක් සහිත ජන සමාජයකි. එමඟින් සහෘදයා තුළ ජනනය වන්නේ චමත්කාරජනක හැඟීමකි. කලාවේ හා සාහිත්‍ය නිර්මාණවල මූලික අරමුණ රස නිෂ්පත්තියයි. රසවින්දනයට අදාළ සහජ ශක්තිය වාසනා ගුණයයි. රසය යනු විඳ ගත යුත්තකි.
ඒත් ඉහත කී මැදිරිගිරියානු ආදර්ශය මඟින් තරුණ පරම්පරාව දී ඇත්තේ තමන්ට රසවින්දනයට අදාළ සහකම්පන මනෝභාවයක් නැති බවයි. කලාවේ හා සාහිත්‍යයේ ඇති උත්තුංග සමාජ පරමාර්ථ තමන්ට අවබෝධ නොවන බවක් ද එය වස්තු විෂය නොවන බවක් ද ඔවුහු එකී හැසිරීම මඟින් පෙන්වා දුන්හ.
වර්තමාන තරුණ පරම්පරාව සාහිත්‍යයෙන් හා රසවින්දනයෙන් ඈත් වී ඇති බවත්, ඔවුන් අවර ගණයේ රසිකත්වයකට යොමුව ඇති බවත් කාලාන්තරයක් තිස්සේ සබුද්ධික ජන සමාජය තුළ සාකච්ඡාවට ලක් වූ කරුණකි. එහෙත් එය එක්වර ම තරුණ සමාජයේ වරදක් යැයි ඔවුන් හංවඩු ගැසීමට පෙර, ඒ සඳහා හේතු වූ කරුණු කවරේ ද යන්න විමසා බැලිය යුත්තකි.
විවෘත ආර්ථිකයෙන් පසු මෙරට පාලන බලය ගත් එක්තරා රාජ්‍ය පාලකයකු සඳහන් කළේ “සාහිත්‍ය කන්න දැ?” යනුවෙනි. එනම්: මනසට ආහාර දෙන ක්‍රමවේදයකට වඩා බඩට ආහාර දෙන ක්‍රමවේදයකින් ඔවුන්ට ස්වකීය ඡන්ද ගොඩ වැඩි කර ගත හැකි බව ඔවුන් අත්දැකීමෙන් ම අවබෝධ කොටගෙන තිබිණි. එනිසා අධ්‍යාපන ක්‍රමය ඇතුළු සමස්ත සමාජය ක්‍රමය ම ඒ සඳහා වන වටපිටාවකින් නිර්මාණය කෙරුණු බව පැහැදිලි කාරණයකි. දසක තුනකට පමණ පසු අප විසින් නෙළා ගනු ලබන්නේ එහි එක් සංකේතීය ප්රාග්ධනයක ප්‍රතිඵලයක් පමණකි. මැදිරිගිරිය යනු තවත් එක් සමාජ නිරූපණයක් පමණක් ම වන්නේ ය.
මැදිරිගිරිය වැනි සමාජ පිළිබිඹුවන් යළි ඕනෑ ම තැනක, ඕනෑ ම අවස්ථාවක මතු විය හැකි ය.
සිනමා ශාලා පිරී යන රසික සමාජ දැන් නැත. මුද්‍රණයෙන් එළි දැක්වෙන උසස් සාහිත්‍ය කෘතියක පිටපත් දහසක් විකුණා ගැනීම අතිදුෂ්කර කාර්යයකි. අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණිය ද ඔවුන් ඒ මිල දී ගත් පොත් කියවන බවක් හැඟෙන්නේ නැත. බොහෝ දෙනකු පටු ආත්මාර්ථකාමිත්වයේ හුදෙකලා ජීවිතවල ගිලී යමින් මමත්වය රජ කරවන සමාජයක් නිර්මාණය වෙමින් පවතී. මානසික වින්දනීය ජන සමාජයට වඩා කායික සන්තර්පණය ප්‍රමුඛ කොට ගත්, විචාර බුද්ධියෙන් තොර තරුණ පරම්පරාවක් නිර්මාණය වීම මෙහි අවසාන තර්කානුකූල ප්‍රතිඵලය බවට පත්ව ඇත. මවුපිය දූදරු සෙනෙහස නොහඳුනන, අනෙකාගේ පෞද්ගලිකත්වයට ගරු නොකරන, අව රසික සමාජයක් නිර්මාණයවීමට අතීතයේ සිට ගලා ආ මෙවැනි සමාජමය හේතු සාධක රැසක් හේතුකාරක වී තිබේ. ඔවුහු වාර්ගික සහෝදරත්වය නොහඳුනති. ඒ වෙනුවට ඉතා පහසුවෙන් ජාති භේදවාදය ආගම් භේදවාදය කුලවාද ඔවුන්ගේ ගැටුම්කාරි මනස තුළ රෝපණය කොට තිබේ.
අපගේ අරමුණ ‘අතීත ජන සමාජය ගරු කටයුතුය; සුපේෂල ශික්ෂාකාමි ය; රසවින්දනයෙන් යුතු ය; වර්තමානය කළු පැහැති ය,’ යන ඉතා සරල චිත්‍රය සමාජගත කිරීම නො වේ. අතීතයේත් මෙවැනි දෑ සිදු නොවූවා යැයි අපි නොකියමු. අපට පෙන්වා දීමට අවශ්‍ය වූයේ වර්තමානයේ ඇති බරපතළ වූ සමාජ කඩාවැටීම ය. මැදිරිගිරියේ සමාජ හැසිරීම සමාජ පිළිලයක් වීම වළක්වා ගත යුතු බව අවධාරණය කිරීම ය. රසඥතාවෙන් යුතු ජන සමාජයක් නිර්මාණය කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ මුල් බැස ගත් සමාජ ක්‍රමයක් එක්වර උඩුයටිකුරු කිරීම අපහසු කාර්යයක් වුවත්, ඒ සඳහා මුල් පියවර හෝ තැබිය යුතු ය. මන්ද යත්: එසේ නොවුණ හොත් නිර්මාණය වන්නේ බස නොහඳුනන, රස නොහඳුනන, මවුපිය දූදරු සෙනෙහස නොහඳුනන, නරුම සමාජයක් නිර්මාණය වීම ය. එය කෙසේ හෝ වළක්වා ගත යුතු තත්ත්වයකි.
ඒ සඳහා වන සමාජ ප්‍රතිසංස්කරණවල මුල් පියවර තැබීම බලධාරීන්ගේ පාර්ශ්වයේ වගකීමක් වන්නේ ය. ප්‍රතිපත්ති ප්රකාශනවල ඇති ආකර්ෂණීය වචනවලින් ඔබ්බට ගිය ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. අධ්‍යාපන අමාත්‍යාංශයට, සංස්කෘතියේ බලධාරීන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, සමාජ ක්‍රියාකාරීන්ට, ජනමාධ්‍යයට පමණක් නොව; සමස්ත පුරවැසියන්ට ද ඒ සඳහා වන බරපතළ පොදු සමාජ වගකීමක් පවතී.
එවැනි රසවින්දනයෙන් යුතු ජන සමාජයක් නිර්මාණය කර ගැනීම
අත්‍යවශ්‍ය ම කාරණයක් වන්නේ ය. එසේ නොවන තාක් කල් මැදිරිගිරිය වැනි සිදුවීම් සමාජයේ වෙනත් ස්ථානවලින්, වෙනත් ස්වරූපවලින් මතු වීම වැළැක්විය නොහැකි වනු ඇත.
ඒ සඳහා වන සමාජ පරිවර්තනයකට ඉක්මනින් මුල පිරිය යුතු බව මැදිරිගිරියේ සිදුවීම අපට දෙන වඩා බරපතළ බලපෑම්සහගත සමාජ පණිවුඩයයි. එය ඉතා හොඳින් කියවා ගත යුතු ව ඇත.