ඕවරයකදී හයේ පහර 6ක් එල්ල කරමින් නායක තිසර පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වීමේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකන් ලයන්ස් කණ්ඩායම සමත් විය. ඉන්දියාවේ උදයපූර්හිදී පැවති ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගයෙන් ඇෆ්ගනිස්තාන් පතාන්ස් පිලට එරෙහිව ලකුණු 26ක ජයක් හිමිකර ගැනීමට ලයන්ස් පිල සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ලයන්ස් පිල දුන් ලකුණු 231ක ඉලක්කය හමුවේ ඇෆ්ගන් පිලට රැස් කළ හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 204ක් පමණි.
නායක අස්ගාර් ඇෆ්ගන් ලකුණු 70ක් සහ අයාන් ඛාන් ලකුණු 52ක් රැස් කළහ. පන්දු යැවීමේදී විකුම් සංජය කඩුලු 3ක්, මලින්ද පුෂ්පකුමාර සහ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 2 බැඟින් දවා ගත්හ.
ලයන්ස් ඉනිමේදී තිසර පෙරේරා පන්දු 36කදී නොදැවී ලකුණු 108ක් රැස් කළේ හතරේ පහර 2කින් සහ හයේ පහර 13ක් සමගිනි. අයාන් ඛාන් යැවූ ඉනිමේ අවසන් ඕවරයේදී තිසර විසින් පිට පිට හයේ පහර 6ක් එල්ල කරමින් ලකුණු 36ක් උදුරා ගත්තේය. එම ඕවරයේදී වයිඩ් පන්දු 3ක්ද යොමුවීම නිසා ලයන්ස් පිලට ලකුණු 39ක් එක් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විස්සයි20 තරගයකදී රැස් කළ වේගවත්ම ශතකය බවට පත් විය. තිසරට අනගි සහායක් දුන් මෙවන් ප්‍රනාන්දු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 81කි. ශ්‍රී ලංකන් ලයන්ස් පිල අද (17) දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට (Qualifier 2) එක්වීමට නියමිතය.