හැටන්, වටවල ප්‍රදේශයේ පෞද්ගලික සත්ත්ව ගොවිපොළක විවිධ රෝග වැලඳී මියයන එළදෙනුන් සහ ගවයන් එම සත්ත්ව ගොවිපොළේ පාලන අධිකාරිය විසින් මස් කඩවලට අලෙවි කරනු ලැබීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවන් පිරිසක් එම සත්ත්ව ගොවිපොළ ඉදිරිපිට පසුගියදා (14) විරෝධතාවක නිරත වූහ.
එම සත්ත්ව ගොවිපොළට පසුගියදා (14) අලුයම පැමිණි ලොරි රථ දෙකක එවැනි සතුන් පටවාගෙන බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක් ලොරි රථයක් තමන් විසින් අල්ලාගනු ලැබූ බවත්, එම වතු කම්කරුවෝ කියා සිටියහ. ගවයන් ප්‍රවාහනය කිරීමට 12 වැනි දින ලබා ගත් බලපත්‍රයක දිනය සත්ත්ව ගොවිපොළේ පාලනාධිකාරිය විසින් වෙනස් කරනු ලබමින් ලෙඩ වී මිය යෑමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇති බව විරෝධතාවයේ නියැළී සිටි වතු කම්කරුවෝ කියා සිටියහ. මීට පෙර එම සත්ත්ව ගොවිපොළේ විවිධ රෝග වැලඳී මියයෑමට ආසන්නව සිටි මෙවැනි සතුන් මියයෑමෙන් පසු සත්ත්ව ගොවිපොළේම වළ දමන බවත්, වත්මන් පාලන අධිකාරිය එම සතුන් මස් කඩවලට අලෙවි කර එම සතුන්ගේ මස් වතුකරයේ ජනතාවට අනුභව කිරීමට සලස්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
වතු කම්කරුවන්ගේ විරෝධය හමුවට පැමිණි නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරීන් කම්කරුවන් අල්ලාගෙන තිබූ ලොරි රථයේ සිටි ගවයන් දෙදෙනා ආපසු සත්ත්ව ගොවිපොළ වෙතම රැගෙන යන ලෙසට පාලනාධිකාරියට කළ දැනුම් දීම මත එම සතුන් යළි ගොවිපොළ වෙත රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් එම සත්ත්ව ගොවිපොළේ සතුන් බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගොස් ගැට ගසා තිබෙන අයුරු අපට දැකගත හැකි විය. ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහයෝගය මත විමර්ශනයක් ආරම්භ කර ඇත.