සොරාගත් ත්‍රිරෝද රථවලින් ගොස් මහමඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල සහ අත් බෑග් කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය පැවසීය.
සැකකරුවන් කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථ දෙකක්, කොල්ල කන ලද රන් මාලයක්, ජංගම දුරකතනයක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4,800ක් පොලිස් භාරයට ගෙන ඇත. මොරගහහේන පොලිස් වසමේ කුඹුක ප්‍රදේශයේ ජය මාවත අසල සැකකටයුතු පුද්ගලයන් දෙදෙෙනකු රැඳී සිටින බවට මොරගහේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.සී. මධුසංක මහතාට දැනුම් දීමෙන් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.
මෙම මස 8 සහ 12 වැනි දිනයන්හි හොරණ පොලිස් වසමෙන් ත්‍රිරෝද රථ දෙකක් සොරාගෙන කොහුවල පොලිස් වසමේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් සහ අත් බෑගයක් කොල්ලකෑ පුද්ගලයන් මොවුන් බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද පොලීසිය පැවසීය. සැකකරුවන් විසින් කොල්ලකන ලද රන්මාලය හොරණ පෞද්ගලික රන් භාණ්ඩ උකස් ගන්නා මධ්‍යස්ථානයකට උකස් කර තිබීයදී පොලිසිය මඟින් සොයා ගැනිණි. සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.