ජනතා සිත්හි බර අවසන් වන්නේ බටලන්දේ ප්‍රධාන වධකයා ඇතුළු අපරාධකරුවන්ට දඬුවම් දීමෙන්
ඇමැති බිමල් රත්නායක බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියයි
1989දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණනක් ඝාතනය සම්බන්ධයෙන් ජනතාවගේ සිත් සතන්හි ඇති බර අවසන් කළ හැකි වන්නේ මුළු රටම එකම විසාලා මහනුවරක් කළ බටලන්දේ ප්‍රධාන වධකයා ඇතුළු ප්‍රධාන අපරාධකරුවන්ට නීති මඟින් කටයුතු කිරීමෙන් පමණක් යැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (14) ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බටලන්ද හිරු එළිය දුටු බවත් එවකට සිටි පාලකයන් විසින් කෙතරම් තදින් වළලා දමන්නට උත්සාහ කළ ද කෙතරම් තදින් ඉතිහාසය විකෘති කර ලියා තිබුණ ද ඉතිහාසය වළලා දැමීමේ හැකියාවක් නොමැති බවත් සභානායකවරයා අවධාරණය කළේය.
1987 – 1990 සිවිල් යුද වකවානුවේදී ඒකාධිපති භීෂණකාරී ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් බටලන්දේ පවත්වාගෙන යන ලද මහා පරිමාණ ඝාතකාගාරයක් පිළිබඳ සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ මේ වන විට ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති වී තිබෙන බව ද බිමල් රත්නායක මහතා පැවසීය.
මෙරට ප්රජාතන්ත්රවාදී වෘත්තීය සමිති, ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍ය සංගම්, සාහිත්‍යවේදීන්, ආගමික නායකයන් මර්දනය කරමින් පැමිණ 1983 කළු ජූලියේදී දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී සංහාරයක් එවකට පැවති ආණ්ඩුවේ නායකත්වයෙන්ම මෙහෙයවා රට දශක තුනක සිවිල් යුද්ධයකට ඇද දැමූ බවත් හෙතෙම පැවසීය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා දැඩි ලෙස සංවේදී ආකාරයෙන් සිය අදහස් දැක්වූ අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ද දැඩි සංවේගයකින් යුතුව එම කතාවට සවන්දෙනු දක්නට ලැබිණි. එමෙන්ම එම අවස්ථාවේ මුලසුන දැරූ කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද දැඩි ලෙස සංවේදී වූ අතර ඒ මහතා කඳුළු සලන ආකාරය ද දක්නට ලැබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේ ද පැවසීය.
ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් සැලකිය යුතු සංවාදයක් ඇති වී තිබෙන “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.
1977දී හයෙන් පහක බහුතරයක් සහිතව බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ජනමත විචාරණයකින් තොරවම විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළා. බලයට පත්වූ 1977 වසරේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හා විරුද්ධ දේශපාලන පක්ෂ සාමාජිකයන්ට එරෙහිව දැවැන්ත ප්රචණ්ඩත්වයක් මුදාහැරියා. බලය ලබාගෙන වසරක් ගතවනවාත් සමඟම 1978දී ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත් වැනි අතිමර්දනකාරී පනත් ගෙනවිත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ක්‍රියාවට නැඟීම ආරම්භ කළා. 1980දී වෘත්තීය අරගලයක් කළ රාජ්‍ය සේවකයන් ලක්ෂයකගේ රැකියා අහෝසි කළා. 1981දී යාපනයේ පැවති සංවර්ධන සභා ඡන්දය අමු අමුවේ මංකොල්ලකෑවා. එහිම ප්‍රතිඵලයක් ලෙස යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කළා. නිසි කලට පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා, ජනමත විචාරණයක් නමින් ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ලෙස මැතිවරණ නිලධාරීන් විසින්ම වාර්තා කරන ලද ජනමත විචාරණ මංකොල්ලයක් හරහා පාර්ලිමේන්තුවේ බලය පැහැරගෙන තවත් අවුරුදු හයකට නීති විරෝධීව දික් කර ගත්තා.
මෙරට ප්රජාතන්ත්රවාදී වෘත්තීය සමිති, ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍ය සංගම්, සාහිත්‍යවේදීන්, ආගමික නායකයන් මර්දනය කරමින් පැමිණ 1983 කළු ජූලියේදී දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී සංහාරයක් එවකට පැවති ආණ්ඩුවේ නායකත්වයෙන්ම මෙහෙයවා රට දශක තුනක සිවිල් යුද්ධයකට ඇද දැමුවා.
එවක එජාප ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින්ම සිදු කරන ලද කළු ජූලියම යොදාගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක් තහනම් කර ඒවායේ අයිතිවාසිකම් උල්ලංඝනය කර, ජනමත විචාරණ මංකොල්ලයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ වන පරිදි කටයුතු කළා.
1983න් ආරම්භ කරන ලද නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පාලනය, ක්‍රමයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය එකම පාලන ක්‍රමය බවට පත් කරගත් මිනීමරු ඒකාධිපති පාලනයක් ලෙස කටයුතු කළා. එවකට සිටි පාලකයන් විසින් කෙතරම් තදින් වළලා දමන්නට උත්සාහ කළ ද කෙතරම් තදින් ඉතිහාසය විකෘති කර ලියා තිබුණ ද ජනතාව විසින් ජනතාවගේ ඉතිහාසය ලිවීම ආරම්භ කර ඇති යුගයක් පසුගිය සැප්තැම්බර් 21 වැනිදායින් පසු උදා වී තිබෙන බව ඔබතුමා ද හොඳින් දන්නා කරුණක්.
එම ඒකාධිපති භීෂණකාරී 1987-1990 සිවිල් යුද වකවානුවේ එම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් බටලන්දේ පවත්වාගෙන යන ලද මහා පරිමාණ ඝාතකාගාරයක් පිළිබඳ සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ මේ වන විට ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති වී තිබෙනවා.
1977 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කර 1994දී සිදු වූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේම මෙම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති භීෂණකාරී පාලනය බිඳ දමා, එම දාහත් වසරක සාපයට එරෙහිව යළි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමයි. එම දාහත් වසරක අඳුරු යුගය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මරා දමන ලද දස දහස් ගණන් ජනතාවට යුක්තිය ඉටු කිරීමයි.
සූරියකන්ද වැනි සමූහ මිනී වළවල් පිළිබඳව ද බටලන්ද ආදි වධකාගාර පිළිබඳව ද එවකට සිටි නායකයන් ඒ ස්ථානවලටම ගොස් හෙළිදරව් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ යුක්තිය ඉටු කිරීමයි. තම ආදරණීයයන්ට සිදු වූයේ කුමක් ද යන්න දැනගැනීමයි. එම ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමයි. එම කෲර පාදඩ දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීමයි.
ඒ අනුව 1995 සැප්තැම්බර් මස 21 වැනි දින, 1948 අංක 14 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරවද නැවතත් 1995 දෙසැම්බර් මස 15 වැනි දින නව අධිකාරී පත්‍රයක් මඟින් ද 1995 දෙසැම්බර් මස 19 වැනි දින අංක 902/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ද මෙම, “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පර්යේෂණ කොමිෂන් සභාව” එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නියෝගයකින් ස්ථාපිත කළා.
කොමිසමේ කාලසීමාව වරින්වර දීර්ඝ කිරීමෙන් පසුව එහි අවසන් වාර්තාව, 1998 මැයි මස 21 වැනිදා එම කොමිෂන් සභාවේ ලේකම් ජී.කේ.ජී පෙරේරා මහතා විසින් ජනාධිපති ලේකම්වරයා අමතා යවා තිබෙන ලිපියෙන් සනාථ වෙනවා. මෙම වාර්තාවත් එයට පදනම් වූ පිටු දහස් ගණනක සාක්ෂි සටහන් ද වැඩිපුර සමන්විත වී තිබෙන්නේ, මෙම වධකාගාර තුළ අනන්ත වධවේදනා විඳි එමෙන්ම තමා සාක්ෂි දෙන මොහොතේදී පවා එම වධකයන් බලවත් තනතුරුවල විරාජමානව සිටියදීත් ඔවුන්ගේ පන්ති මිතුරන් පැහැදිලිවම එකී වධකයන් රකිමින් සිටියදීත් දහස් ගණන් පුද්ගලයන් ජීවිත අනතුරු සහිතව සිටියදී එම ජීවිත අනතුරු නොසලකමින් මෙම කොමිසමට පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වූ නිසා බව ඔබතුමා හොඳින් දන්නවා.
එමෙන්ම තම පියා, පුතා, සහෝදරයා, සාහසික ලෙස පැහැරගෙන ගොස් දෙතිස් වධ දී ඝාතනය කිරීමේ වේදනාව හදවත පතුලේ රඳවාගෙන, එය සදහටම අමතක කිරීමේ අමාරු උත්සාහයක සිටීම මනෝරාණී සරවනමුත්තු ඇතුළු දහස් ගණන් අම්මාවරුන්, පියවරුන්, දූ දරුවන්, පෙම්වතුන් පෙම්වතියන්, සොයුරු සොයුරියන් එම තුවාලය නැවත නැවතත් පාරවා ගනිමින් මෙම කොමිෂන් සභා ඉදිරියට පැමිණ ක්ලාන්ත වී වැටෙමින් මෙම කොමිෂන් මඟින් තම ආදරණීයයන්ට යුක්තිය ඉටුවේය යන විශ්වාසයෙන් යුතුව සාක්ෂි දුන් නිසා බව ඔබතුමා පිළිගනු ඇතැයි මම සිතනවා.
ඒ අනුව බටලන්ද කොමිෂන් සභාවේ අවසාන වාර්තාව 1998 මැයි මස 22 වැනි දිනට පෙර දිනක එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට කොමිෂන් සභාව මඟින් භාර දී තිබිය යුතු බව පැහැදිලි වෙනවා.
එසේ වුවද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා පිටපතක් යවා ඇති මෙම වාර්තාවේ පිටපතක් ඇය විසින් නීතිපතිවරයාට යොමු නොකළ හේතුව එවකට අපැහැදිලි වුවත් අද අහස සේ පැහැදිලියි.
එමෙන්ම වර්ෂ 2000 මාර්තු මස 16 වැනි දින රජයේ මුද්‍රණාලයාධිපති අමතමින් ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ජේ.එස් කරුණාරත්න මහතා විසින්ම යවන ලද ලිපියකින් පැහැදිලි වන්නේ, සිංහල පිටපත් පන්සියයක් සහ දෙමළ පිටපත් 250ක් ඇති බවයි.
නමුත් පුදුමයක මහත වන්නේ එම මුද්‍රිත වාර්තා 750න් එකක් හෝ නීතිපතිවරයාට යොමු කර නැති වීමයි.
එම නිසා මෙම වාර්තාව කැඳවූ අයම එමඟින් නිර්දේශිත සැබෑ අපරාධකරුවන්ට දඬුවම් දීම හෝ එහි සඳහන් වැදගත් නිර්දේශ ක්‍රියාත්මක නොකර එය මැතිවරණවලදී දේශපාලන පන්දුවක් ලෙස යොදාගත් බව පැහැදිලියි.
එමෙන්ම කොමිසමේ ප්‍රධාන චුදිතයාම අල් ජසීරාවට ප්‍රකාශ කරන පරිදි එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නෑ.
ජීවිත අනතුරු දරා ගනිමින්, හදවතේ ගැඹුරුම තැන්වල පිහිටි තුවාල නැවත නැවතත් පාරවා ගනිමින් සාක්ෂි දීමට පැමිණි දස දහස් ගණන් මිනිසුන්ගේ අතිශය සාධාරණ අභිලාෂයන් සහ ගැඹුරුතම මානුෂීය හැඟීම් පාවා දෙන ලද්දේ, මරා දමන ලද්දේ ඒ අයුරිනුයි.
1990 සිට වසර 35ක් ද කොමිෂන් සභාව අරඹා වසර තිහක් ද කොමිෂන් සභාවේ වාර්තා නිකුත් කර වසර විසිපහක් ද ගතවී ඇති මොහොතක මාගේ පක්ෂය සහ කැබිනට් මණ්ඩලය මඟින් මා වෙත පරපුරක හෘදය සාක්ෂිය කැටි වී ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එය ජනගත කිරීමටත් වගකීම පවරා තිබෙනවා.
අරගල කළ පරපුරක කඳුළුත්, ඔවුන් විඳි මහපොළොව නුහුලන වධ වේදනාවල ප්‍රමාණය හා සසඳද්දී ඒවාට අලගු තැබීමටවත් මෙම පිටු දෙසීය අටකින් යුතු වාර්තාවට නොහැකි වන බව අපි දන්නවා.
මෙම වාර්තාව මරා දමන ලද යෞවනයන්ගේ හා ඔවුන්ගේ ආදරණීයයන්ගේ වධ වේදනාවන්ගෙන් හා සුසුම්වලින් අංශුමාත්රයක් නියෝජනය කරන වාර්තාවක් වුව ද එය හැකි තරම් සාධාරණව සකස් කිරීමට දායක වූ කොමිෂන් සභාවේ සියලු නිලධාරීන් හා එයට සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
එමෙන්ම ඉතිහාසයේ පොදු ජනතාවට එරෙහිව අපරාධ කළ අයම එම පොදු ජනතාව මර්දනයෙන්, ධනයෙන් හා බලයෙන් යට කොට තිස්පස් වසරක්ම තම අපරාධ රකිමින්, තමන්ට නීතියේ රැහැනින් ගැලවී යෑමට හැකි වන පරිදි සියලු දේ සකස් කර ක්‍රියාත්මක කර තිබුණා.
එහෙත්, 2024 සැප්තැම්බර් 21 වැනිදා සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සිහිනය සැබෑ වීමත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු ගබඩාවක සැඟවී තිබූ මෙම වාර්තාව 25 වසරකට පසු අද හිරු එළිය දැක තිබෙනවා.
අපගේ මාතෘ භූමියේ ආධ්‍යාත්මයේ ගැඹුරුම තැන්වල තැන්පත්ව ඇති, සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සිහිනය සැබෑ කිරීමේ අරමුණ දිනවීම වෙනුවෙන් මරණය වැලඳගත් විජයදාස ලියනආරච්චි සහෝදරයා ඇතුළු පරම්පරාවක දුක්, වේදනා සහ අරගලය පිළිබඳ මහත් බරකින් යුත් මෙම වාර්තාව දැන් මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.
1989දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණනක් ඝාතනය කිරීමෙන් පසු මගේ මනසේ හා හදවතේ තැන්පත් වූ විශාල පර්වතයක් තරම් වූ බරක් තිබෙනවා. එය මාගේ පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත අප පක්ෂයේ සාමාජිකයන්ගේ හිතවතුන්ගේ පමණක් නොව ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටින දස ලක්ෂ සංඛ්‍යාත සාධාරණ ශ්‍රී ලාංකිකයන්ගේ ද හිත්වල තැන්පත් වූ විශාල බරක් බව මම දන්නවා.
2024 සැප්තැම්බර් 21 වැනිදා එම ගල් පර්වතයේ බරින් සැලකිය යුතු කොටසක් අප සියලු දෙනා විසින්ම නිදහස් කරගෙන තිබෙනවා.
නමුත් ඒ බර සම්පූර්ණයෙන් නිදහස් කරගත හැක්කේ ඒ සාධාරණ පොදු ජන අරගලය වෙනුවෙන් දිවි දුන් සහ අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණදුන් සෑම කෙනකුටම යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමෙන් පමණයි.
එය කළ හැක්කේ ජනමත විචාරණය නම් නීති විරෝධී ඡන්ද මංකොල්ලයකින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය පැහැරගෙන, මුළු රටම එකම විසාලා මහනුවරක් කළ බටලන්දේ ප්‍රධාන වධකයා ඇතුළු ප්‍රධාන අපරාධකරුවන්ට නීති මඟින් කටයුතු කිරීමෙනුයි.
එමෙන්ම 1987 – 1990 මහා සිවිල් යුද්ධයකට මැදි වී, එහිදී විවිධ පැති ගැනීමට සිදුවූ විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ හා සම්බන්ධ නැති පොදු ජනතාවට මේ මහා සිවිල් යුද්ධයේ මූල හේතුව තේරුම් කර දෙමින්, පොදු ජනයා අතර දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මාතෘ භූමිය ගොඩනැඟීමට මේ මොහොතේ ඇති වී තිබෙන පොදු උනන්දුව තවත් ශක්තිමත් වන පරිදි සංහිඳියාවේ හා සමාව දීමේ යෝධ දෑත්වලින් එම ගල් පර්වතය මාතෘ භූමියේ හෘද සාක්ෂියෙන් බිමට ගෙන මේ මාතෘ භූමිය සදහටම එම හෘද සාක්ෂි බරෙන් නිදහස් කිරීමෙනි.
එම නිසා, මෙම මහා සංහාරයන්හි සැබෑ ඝාතකයන් නීතිය ඉදිරියට පැමිණවීමටත් එම ඝාතකයන් තම බලය රැක ගැනීම උදෙසා කරන ලද නීති විරෝධී පාදඩ දේශපාලන උපක්‍රම නිසා එම කාලයේදී විවිධ පැති ගැනීමට සිදුවූ පොදු ජනයා අතර සංහිඳියාව හා සහෝදරත්වය තව තවත් ශක්තිමත් කිරීමටත්, නැවත කිසි දිනෙක අපගේ මාතෘ භූමිය තුළ එවන් සාහසික යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමත් අධිෂ්ඨාන කරගෙන, මෙම බටලන්ද වාර්තාව පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මඟින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.
එමෙන්ම මෙම බටලන්ද කොමිෂන් සභා වාර්තාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මවිසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන අතර මන්ත්‍රීවරුන්ගේ සහ ජනතාවගේ පරිහරණය සඳහා එය මුද්‍රණය කළ යුතු යැයි ද මා යෝජනා කරනවා.
එමෙන්ම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් විසිඅටක් ද ඉදිරියේදී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.
මාතෘ භූමිය දරා සිටින මෙම මහා හෘද සාක්ෂි බර සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන සෑම කෙනාටම ආරාධනා කරනවා.
****
භෞමික අඛණ්ඩතාව ස්වෛරීත්වය සුරකිමින් විදෙස් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනවා
ඇමැති විජිත හේරත්
රට තුළ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (15) පැවසීය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
Òවැටුණු ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනඟමින් රට ඉදිරියට යන බව ලෝකයේ රටවල් අද වන විට දැනගෙන තිබෙනවා. අන්‍යෝන්‍ය සහයෝගීතාව පදනම් කර ගනිමින් මේ විදෙස් ප්‍රතිපත්තිය අපි ක්‍රියාවට නංවනවා. ඉතාම කිට්ටු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඔවුන් සුබවාදී ලෙස අප දෙස බලනවා.
පසුගිය කාලයේදී මම සිදු කළ රාජ්‍යතාන්ත්‍රික සංචාරවලදී සැලසුම් ගණනාවක් සකස් කර තිබෙනවා. මහජන චීන ආණ්ඩුව සමඟ අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කළා. එක්සත් එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ප්‍රවර්ධනය සඳහා වූ කොමිසම ස්ථාපිත කිරීමට අපි අත්සන් කළා. මෙපමණ කලක් ඔවුන් බයේ සිටියේ. අපි ඔවුන්ට විශ්වාසය ඇති කළා. මැදපෙරදිග රටවල් ද අප සමඟ දැන් එක්ව සිටිනවා. ලෝක වෙළෙඳපොළේ අපේ පංගුව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවාÓ යැයි කීවේය.
****
විදෙස් ආයෝජකයන් ගෙන්වීමට රට තුළ හිතකර පරිසරයක් ඕනෑ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
රට තුළට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (15) ප්‍රකාශ කළේය.
විදෙස් ආයෝජකයන් ගෙන්වීමට නම් හිතකර පරිසරයක් රට තුළ පැවැතිය යුතු බවත් රට තුළ තැනින් තැන වෙඩි තැබීමේ සිදුවීම් හේතුවෙන් ජාතික ආරක්ෂාව අනාරක්ෂිත වී ඇති බවත් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා විශේෂ අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අක්මීමණ, බූස්ස, තල්දෙන, මීගහකිවුල, අඟුණුකොළපැලැස්ස, වැලිවේරිය වෙඩි තැබීම, මූතුර්වල ජීවිත අහිමි වීම් මෙන්ම අම්බලන්ගොඩ, කොළඹ ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවල ඝාතන සිදුව ඇති බවයි. මේ අනුව මහජන ආරක්ෂාව පිළිබඳ ලොකු ගැටලුවක් පවතින අතර මෙය රටේ ජනතාවට මෙන්ම සංචාරක ක්ෂේත්රයට ද බලපාන බවයි.
****
සිවිල් යුද්ධයේ ඝාතන ගැනත් විමර්ශන කරන්න
මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම්
බටලන්ද වධකාගාරය ක්‍රියාත්මක වුණේ 1989දී බවත් 2008 – 2009 කාලය තුළ සිවිල් යුද්ධයක් ක්‍රියාත්මක වූ බවත් මේ කාලයේ සිදුවූ ඝාතන ගැනත් විමර්ශන සිදු කළ යුතු බවත් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්ත්තුවේදී පෙරේදා (15) ප්‍රකාශ කළේය.
අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ සිදු කළ ඝාතන ගැනත් විමර්ශන කරන්නට සිදු වෙන නිසා මේ වාර්තාව ඉදිරිපත් කරනවාට ජවිපෙ අය ගොඩක් කැමති වුණේ නැහැ මේ වාර්තාව ගේනවට.
මේක සභාගත කළේ නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තවත් කෑලි 10කට විතර කඩනවා. මේකට තියෙන බය නිසා තමයි මේක ටේබල් කළේ. ඒ නිසා කොමිෂන් සභා වාර්තාවෙන් මුකුත් වෙන්නේ නැහැ. මම දන්න විදිහට ජේවීපී එකේ මේ ඉන්න නායකයොත් ඒ දවස්වල අවුරුදු 18-20 අය. බටලන්ද කොමිසම හරහා ජේවීපී එක කරපු ඝාතනවලත් දැන් ලිස්ට් එළියට එනවා. ඒවා සම්බන්ධව පරීක්ෂණ කරන්න වෙන හින්දා ජේවීපී එකේ ගොඩක් අය කැමති වුණේ නෑ මේක සභාගත කරනවාට. මේකෙන් වෙන්නේ සභාගත කිරීම පමණයි. මම අද කැට තියලා කිව්වා කියලා හිතාගන්න. කථානායකතුමා සංවේදී වෙනවා මම දැක්කා. අපිත් සංවේදී මේ වගේ දේවල්වලට. හැමදේකටම සංවේදී වෙනවා නම් හොඳයි.