ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හේතුවෙන් චීන අපනයන – ආනයන බැංකුවට (EXIM) අමෙරිකානු ඩොලර් බිලියන 07 ක පමණ පාඩුවක් සිදුව තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා ප්‍රකාශ කරයි.
චීන EXIM බැංකුව නිල ණය හිමි කමිටුවට අයත් නොවුණ ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන සඳහා පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී මුලින්ම ගිවිසුම් අවසන් කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිවරයා පෙන්වා දුන්නේ චීනයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර සම්බන්ධයෙන් යම් යම් පාර්ශ්ව විවේචන එල්ල කළද චීනයට සැඟවුණු න්‍යාය පත්‍ර කිසිවක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සහ සමෘද්ධිය වෙනුවෙන් තම රට සහාය ලබාදෙන බවත් ය. කෙසේ වුවද රටේ සාමාන්‍ය ජනතාව මේ සම්බන්ධයෙන් තොරතුරු නොදන්නා බව පෙන්වාදුන් ඒ මහතා ඒ හේතුවෙන් අනෙකුත් පාර්ශ්ව මෙන්ම ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර සම්බන්ධයෙන් චීනය කිසිදු අවස්ථාවක කෑගැසීමක් නොකරන බව ද අවංකව සහාය ලබාදෙන බව ද පෙන්වා දුන්නේය.
තම රටට ඉන්දියාව සමඟ කිසිදු ගැටුමක් නැතැයි පෙන්වා දුන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වසර ගණනාවක් පුරා රටවල් දෙක වේගයෙන් වර්ධනය වන බවද පොදු අරමුණු වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළේය.