බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (17) දිනයේ ප.ව 2.00න් පමණ පසුව මි.මී 50ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. නැඟෙනහිර, ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය, මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇති වේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 40ක පුද්ගලයින් 135ක් බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තත්ත්ව වාර්තාව නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය 06 වැනි දින සිට ඊයේ (16) පෙරවරු 6.00 දක්වා වලංගුවන පරිදි මෙම තත්ත්ව වාර්තාව නිකුත් කර ඇත. පූර්ණ නිවාස හානි 01ක් ලෙසද, අර්ධ නිවාස හානි 27ක් ලෙසද, උල්හිටිය රත්කිද, කලාවැව, රාජාංගණය, සේනානායක සමුද්‍රය ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙන බවද එහි සඳහන් වේ. ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ස්ථානයේ නායයෑම් හේතුවෙන් ඇතිවූ අවදානම අවම මට්ටමකට පැමිණ ඇති බැවින් එක් මං තීරුවක් පැය විසිහතර පුරාම ගමනාගමනයට විවෘත කිරීමට තීරණය කර ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ඊයේ (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර තිබේ. එහෙත් අවධානයෙන් යුතුව ගමන් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.