ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට මිලියන ගණනක් මහජනතාවගේ සහභාගිත්වය ඇතිව එකම වේලාවක ආරම්භ වූ කෘෂි බෝගවලට හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය අති සාර්ථක බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
මේ කටයුත්ත ජාතික වගකීමක් ලෙස සලකා පෙරේදා (15) පෙරවුරු 8.00-8.05 අතර පැවති මෙම සංගණනයට දායක වූ මේ රටේ ජනතාවටත් ,නිවාඩු දිනයක් වුවද මේ සඳහා ස්වේඡාවෙන්ම දායක වූ මහජනතාවට, රජයේ නිලධාරීන්ටත්,ගොවිජනතාව ,ගොවි නායකයන්, පරිසරවේදීන් මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍යවේදීන්ට සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
මෙම සංගණනය මඟින් රැස්කර ගත් තොරතුරු සහ දත්ත ඇතුළත් මූලික වාර්තාවක් මෙම මස අවසානයේදී පමණ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා දිනමිණ කළ විමසුමකදී අවධාරණය කළේය.
“නිශ්චිත කාලයක් තුළ පොදු ක්‍රියාවලියකට මහජනතාව එක්වී ජාතික වගකීමක් ඉටු කළා. මමත් වේරගල රජ මහවිහාරයට පැමිණ මේ සංගණනය සඳහා එක්වුණා. ඇතැම් අය ඒ මොහොතේම සංගණන පත්‍රිකාව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත ලබාදී තිබුණා. සංගණනය පැවති දිනයේදී අදාළ වේලාව තුළ තම ගෙවත්තේ ,වගා බිම්වල, පුණ්‍ය භුමි වඳුරන්, රිළවුන්, මොනරුන් සහ දඬුලේනුන් සිටි සංඛ්‍යාව සටහන් කර ඇති සංගණන පත්‍රිකා දැන් ග්‍රාම නිලධාරීන් වෙත ලැබෙමින් පවතිනවා.
ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් මේ වන සතුන් සිටි සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබීමට සලස්වා ඉන්පසුව ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට සලස්වනවා. ඉන්පසු අදාළ දත්ත සහ තොරතුරු සටහන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලැබීමෙන් පසුව ඒවා වනසතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා වූ කමිටුව වෙත යොමු කරනවා. මෙම කමිටුව ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් යොමු කර,
සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව වාර්තාවක් සකස් කිරීමට නියමිතයි.
අදාළ වාර්තාව විශ්ව විද්‍යාල විද්වතුන්, මේ ක්ෂේත්රය පිළිබඳ පර්යේෂණ ආයතන ,පරිසර සංවිධාන, ගොවිජනතාව, ගොවි සංවිධාන ,කෘෂි ක්ෂේත්රයට අදාළ පර්යේෂණ ආයතන, වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තු ,මාධ්‍ය ආයතන ඇතුළු ආයතන ගණනාවකට යොමු කරන්නට බලාපොරොත්තු ෙවනවා. ඇතැම් ප්‍රදේශවල ගොවි බිම්, පුණ්‍ය භූමිවල මෙම සංගණනය සඳහා රජයේ නිලධාරීන් පැමිණියේ නෑ කියා ජනතාව මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා. මේ නිලධාරීන් මෙම සංගණනයට දායක වන්නේ ස්වේච්ඡාවෙන් . අප ඔවුන්ට නියම කර සිටියේ නෑ .ඇතැම්විට ඔවුන්ට පැමිණි පෞද්ගලික බාධාවන් නිසා එදින මෙම කාර්යයට දායක වන්නට නොහැකි ෙවන්න ඇති.
මෙම සංගණනය හාස්‍යයට ලක්කරමින් ඒ ගැන අදහස් පළ කළ අය නිසා අපට වාසියක් වුණා. එයින් වුණේ ජනතාව , තවතවත් මේ ගැන අවධානය යොමු කිරීමයි. විවිධ ක්ෂේත්රවල විද්වතුන්, පර්යේෂකයන් මේ ගැන අවධානය යොමු කර තම දායකත්වය ලබා දුන්නා.
ඇතැම් ප්‍රදේශවලට අදාළ සංගණන පත්‍රිකාව ලැබී තිබුණේ නැ. ඒ අයට අප දැන්වූවේ කොළ කැබැල්ලක අදාළ තොරතුරු සටහන් කර ගෘහමූලික අංකය සහ දුරකතන අංකය ලියා, ග්‍රාම නිලධාරි වෙත ලබාදිය හැකියි” යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
ඡායාරූප කුරුණෑගල සුනිල් පැල්ලන්දෙණිය