අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි බාධා මගහරවා ගනිමින් ක්‍රියාකිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ආපදාවක් හේතුවෙන් දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020/ 0113 668100 / 0113668013 / 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකතන අංකයට ඒ බව දැන්විය හැකිය. ආපදාවක් පිළිබඳව දැනුම්දුන් පසු හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකරනු ලැබේ.
මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්ෂා කරනුයේ මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිලධාරීන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව ක්‍රියාකිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමඟ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශ්වකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර ඇත.
ඒ පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාළ සියලු අංශ දැනුම්වත්කර තිබේ.
විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සඳහා සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කර ගත හැකිය.