- ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කෝප් අනු කමිටුවක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමැතියකින් තොරව වේගවත් යන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ තනි කැමැත්තට අනුව ඖෂධ ලියාපදිංචිය නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීම සිදු කර ඇති බවට මෙහිදී අනාවරණය වුණි.
මේ පිළිබඳ අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී හදිසි ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ අනුව ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමැතියකට යටත් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව වේගවත් යන්ත්‍රණයක් (Fast Track) ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට (Special pathway) නිකුත් කර ඇති බවත් එමඟින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දෙන ලදි.
විශේෂයෙන්ම 2022 වර්ෂයේ සිටි ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙම ක්‍රමවේදය වෙනුවෙන් මැදිහත්වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එම කාලසීමාව තුළ කොළඔ පිහිටි ප්‍රධාන හෝටලයක පැවත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් සඳහා අනුමැතිය ලබාගැනීමට සැලසුම් කර තිබූ බවත් මෙහිදී අනාවරණය විය.
නමුත් මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වෛද්‍යවරුන්ගේ විරෝධය පළවී ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් පවතින බවත් මෙහිදී අනාවරණය විය. මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී අදාළ කාලසීමාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්වීමට තීරණය කෙරිණි.
තවද ඖෂධ මිල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මිල නියාමන අංශයක් 2022 වර්ෂය දක්වා නොපැවති බවත් 2022 වර්ෂයේදී එම අංශය ස්ථාපිත කිරීමෙන් පසුව කලාපීය වශයෙන් ඖෂධ මිල සංසන්දනය කරන බවත්ය.
මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර හැකි ඉක්මනින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසය.
ඖෂධ ගෙන්වීමෙන් පසු, ගෙන්වූ ඖෂධ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන්ගෙන් කාරක සභාව විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පරීක්ෂා කිරීම් සඳහා විද්‍යාගාර පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවය. අධිකාරිය සතුව පවතින මුදල් සංචිත ප්‍රමාණය කෝප් කමිටුව විමසූ අතර රුපියල් බිලියන 7ක සංචිත පවතින බව නිලධාරීහු පැවසූහ. එබැවින් අධිකාරියේ මුදල් සංචිත යොදාගෙන හෝ ඖෂධ ගෙන්වූ පසු පරීක්ෂා කිරීමට විද්‍යාගාරයක් සකස් කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දෙන ලදි.
එසේම කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය ඉඩප්රස්ථාව සකස් කර ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ පවතින දුර්වලතා මඟහරවා ගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව උපදෙස් ලබාදෙන ලදි.
මීට අමතරව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කෝප් අනුකමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා පැවසූ අතර ඉදිරියේදී එම අනුකමිටුවේ සාමාජිකයන් නම් කර දැනුම්දෙන බව ද පැවසීය.
එමෙන්ම මෙරට වෙෙළඳපොළ තුළ අලෙවි කරන විලවුන් වර්ග නියාමනය කිරීමට ආයතනයක් නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වන රෝගී තත්ත්වයන් පවතින නිසා සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීමට අවධානය යොමු විය යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට මෙහිදී පෙන්වා දුන්හ.
කිසිදු ආයතනයකට මේ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ නීතිමය බලතල නොමැති බව කමිටුවේදී අනාවරණය වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන නීතිමය ප්‍රතිපාදන සකස් කර තම ආයතනයට බලතල දෙන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීහු පෙන්වා දුන්හ.
ඒ අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස කෝප් කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන් සහ චන්දිම හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු සහභාගි වූහ.