අපරාධයක වින්දිතයකු පොලීසියට ලබා දෙන ප්‍රකාශ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම නීති විරෝධී බවත් අනුරාධපුර වෛද්‍යවරියට අදාළ එම උද්ධෘතයන් තුන්වැනි පාර්ශ්වයන්ට ලබා දුන්නේ කවුද යන්න පිළිබඳවත් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි.
යම් වින්දිතයෙක් තමන් මුහුණ දුන් සියලුම සිදුවීම් පොලීසිය හමුවේ නොසඟවා හෙළි කරනු ලබන්නේ එමඟින් තමන්ට යුක්තිය ඉටුවීම සහතික කර ගැනීම සඳහා මිස මාධ්‍ය මගින් එයට ප්‍රසිද්ධියක් ලබාදීමට හෝ යමෙකුට හඬකවා ප්‍රචාරය කරමින් තමන්ගේ යූ ටියුබ් නාළිකාවන්හි නැරඹුම් වාර වැඩි කරගැනීමට හෝ නොවන බව ද ඒ මහතා කීය.
ස්ත්‍රී දූෂණය වැනි බරපතළ අපරාධයක වින්දිත කාන්තාවක් තමා පොලීසියට ලබා දෙන කටඋත්තරය මේ ආකාරයෙන් අවභාවිත වන බව දන්නේනම් ඇය තමාට සිදුවූ අතවරය නිහඬව විඳ දරාගන්නවා මිස කිසිවිටෙකත් නීතිය හමුවට නොඑනු ඇතැයි ද නීතිඥවරයා ප්‍රකාශ කළේය.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 365 (ඇ) (1) වගන්තිය යටතේ ‘ඇතැම් වැරදිවලට අදාළ කරුණු පළ කිරීම’ යන ශීර්ෂය ඔස්සේ මේ සඳහා ඇති නෛතික ප්‍රතිපාදන පැහැදිලිව දක්වා තිබෙන බවත් මේ අනුව ඉන් කියවෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති ලිංගික අතවර කිරීම, ගණිකාවක් කිරීම සඳහා කුට්ටනය කිරීම, ස්ත්‍රී දූෂණය, බරපතළ ලිංගික අපයෝජනය, ව්‍යාභිචාරය, ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම සහ තැනැත්තන් අතර සිදුවන දැඩි අශිෂ්ට ක්‍රියාවන් හෝ අස්වාභාවික ලිංගික ක්‍රියාවන් යන වැරදිවලට ගොදුරුවන තැනැත්තාගේ නම හෝ අනන්‍යතාව හෝ හෙළිදරව් වන යම් කාරණයක් මුද්‍රණය කරන හෝ පළ කරන කවර හෝ තැනැත්තකුට අවුරුදු දෙකක් දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට සහ අමතරව දඩයක් නියමකිරීමට ද හැකි බවයි.
මෙම ප්රතිපාදනයේ දක්වා ඇති ‘නම’ හෝ ‘අනන්‍යතාව’ යන්නෙන් වෙනම අවස්ථාවන් දෙකක් දක්වා තිබෙන බවත් එනම් නම සඳහන් නොකළ ද අදාළ වින්දිතයා කවරෙක් ද යන්න හඳුනාගත හැකි වෙනත් ඉඟි ලබාදීම ද මේ අනුව නීති විරෝධී බව පෙන්වා දී තිබෙන බවත් සුබසිංහ මහතා කීය.
යම් ආකාරයකට එවන් දෙයක් පළ කරන්නේ නම් ඒ සඳහා වින්දිත තැනැත්තාගේ හෝ ඔහුගේ ලිඛිත අවසරය අවශ්‍ය බව ද වින්දිත පුද්ගලයා මියගොස් සිටී නම් බාලවයස්කරුවකු නම් හෝ සිහිවිකල් තැනැත්තකු නම් ඔහු වෙනුවෙන් ඔහුගේ මවුපියන් හෝ භාරකරු වෙතින් එම අවසරය ලබාගතයුතු බවත් පවසන වෛද්‍ය, නීතිඥ පාලිත සුබසිංහ මහතා ඒ පිළිබඳව තවදුරටත් 365 ආ (2) ප්රතිපාදනයේ දක්වා ඇතැයි ද අවධාරණය කළේය.