රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරන්නේ නම්, ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳී සිටින අතර ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ වනුයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සෞඛ්‍යාරක්ෂාව බවත්, මෙම පණිවිඩය තේරුම් ගෙන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර විසඳාගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කලින් පැවති රජයන්, කටයුතු කළ ආකාරයට නොව ජනතාවට, සෞඛ්‍ය වෘත්තිකයන්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක්, ප්‍රශ්නයක් වර්තමාන රජය සමඟ සාකච්ඡා කර විසඳාගැනීමට හැකියාව තිබෙන බවත්, එම සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිටගෙන විසඳුම් ලබා දෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ලක්ෂ එකහමාරක සෞඛ්‍ය බලඇණියක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන බවත්, ඔවුන්ගේ සේවාව මෙරටට අත්‍යවශ්‍ය බවත් ඇමැතිවරයා පැවසීය.
එම පිරිස විශාල කාර්යභාරයක් උසුලමින් කටයුතු කරන බවත් වාට්ටුවට, බාහිර රෝගී අංශයට, සායනයට, විවිධ දුෂ්කරතා සමඟ පැමිණෙන රෝගියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබාදීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වගකීමක්, යුතුකමක් බවත් ඇමැතිවරයා කියා සිටියේය.
ජාතික සැලැස්මකට අනුව කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවත් කිසිදු අවස්ථාවක දේශපාලනඥයන්ගේ ප්රතිරූප ඉහළ නැංවීමට අදහස් නොකරන අතර ඒ වෙනුවට ජනතා සේවය නිබඳව සිදු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
ශ්‍රී ලාංකේය වකුගඩු රෝග නිවාරණයට, පර්යේෂණයට වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් සිදු කළ විද්‍යාජෝතී මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතා මෙහිදී විශේෂ ඇගයීමකට ද ලක්කෙරිණ.
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මඟින් මෙහිදී වකුගඩු රෝගීන්ට වියළි ආහාර මලු 225ක් බෙදා දීම, රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය සඳහා වවුචර්පත් ප්රදානය, වකුගඩු රෝගීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය, වකුගඩු රෝගීන්ට ප්‍රවාහන දීමනා ලබාදීම, සෞඛ්‍ය ප්රතිලාභ හිමිකම් ගෙවීම, වකුගඩු බද්ධ කළ අය ඇගයීම, වකුගඩු සංගමයේ සුපින්වත් මෙහෙවරයන්ට දායක වූ සුපින්වතුන් ඇගයීම, වකුගඩු පුවත්පතේ 30 වැනි කලාපය එළිදැක්වීම වැනි සත්කාරයන් ද මෙහිදී සිදුකෙරිණ.
ප්‍රවීණ සිනමාවේදීන් වන ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන සංගීතා වීරරත්න, ෆර්නි රෝෂිණී, ප්‍රවිණ ගායක දයාන් විතාරණ, ප්‍රදීපා ධර්මදාස, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ, ප්‍රවීණ ගීපද රචක බණ්ඩාර ඇහැළියගොඩ, හිටපු ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක සේන නන්දවීර මහත්ම මහත්මීන් ද, විද්වතුන්, කලාකරුවන්, වකුගඩු රෝගී ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.