1988-89 කාලයේ සිවිල් යුද තත්ත්වයක් රටේ පැවති බවත් ඒ සම්බන්ධව සාධාරණය සොයා බැලීමට කොමිෂන් සභා පත් කරන්නේ නම් එක් පාර්ශ්වයක් කළ දේ ගැන පමණක් නොව සියලු පාර්ශ්වයන් කළ දේ ගැන සොයා බැලිය යුතු බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවත පිහිටි ශ්රී ලංකා තැපැල් මූලස්ථාන ශ්රවණාගාරයේ පෙරේදා (15) පැවති ශ්රී ලංකා නිදහස් උපස්ථායකයින්ගේ සංගමයේ 2025 නිල ලාංඡන (Caregiver) පැලඳවීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීය.
1988-89 කාලයේ සිවිල් යුද තත්ත්වයක් රටේ පැවතියා. එක අතකින් රාජ්ය ත්රස්තවාදයත්, අනෙක් අතින් ජ.වි.පෙ. ත්රස්තවාදයත් ක්රියාත්මක වුණා.
වසර 30ක් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයත් ක්රියාත්මක වුණා. මේ සියලු ත්රස්තවාදී ක්රියා නිසා සෑම පාර්ශ්වයකම අයිතිවාසිකම් උල්ලංඝනය වුණා. ජීවිත නැතිවුණා, දේපළ විනාශ වුණා.
මේවා පිළිබඳ සොයා බැලීමට සාධාරණව පරීක්ෂා කිරීමට කටයුතු කරනවා නම් සියලු දේටම ජනාධිපති කොමිෂන් සභා පත් කළ යුතුයි. එක් පාර්ශ්වයක් සිදුකළ දෙයක් පිළිබඳ සෙවීමට පමණක් කොමිසම් පත්කිරීම සුදුසු නැහැ.
එසේ කොමිසම් පත්කරනවා නම් සියලු පාර්ශ්වයන් සිදුකළ දේ පිළිබඳ සොයා බැලිය යුතුයි.
මම ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දි කොමිෂන් සභා පහක් පත් කළා. මහ බැංකු වංචාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ශ්රී ලන්කන් ගුවන් සේවයේ වංචා සොයා බැලීමට කොමිසමක් පත් කළා. වසර 2015 ට පෙර පැවැති රජය සිදුකළ වංචා සොයා බැලීමට කොමිසමක් පත් කළා. මගේ රජය යටතේම වංචා දූෂණ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව සොයා බැලීමට කොමිසමක් පත් කළා.
මෙම කොමිෂන් සභා හරහා නිර්දේශ ඉදිරිපත් කළාට වැඩක් නැහැ. ඒවාට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට පියවර නොගන්නේ නම්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කොමිෂන් සභා වාර්තා ඉදිරියට ගෙන ගොස් වරදකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ ඒ සම්බන්ධව කටයුතු කරන ආයතන, දෙපාර්තමේන්තු, අමාත්යාංශවලටයි. ඒවායෙන් නිසි ලෙස කටයුතු සිදුනොවේ නම් ජනාධිපති කොමිසම්වලින් පලක් නැහැ යැයිද හෙතෙම කීවේය.