ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා රැගෙන යාම කෙරෙහි නව රජය ඉහළ අවධානයක් යොමු කර ඇත.
එදා මෙදා තුර බිහිවූ බොහෝ පාලකයන් ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම පිළිබඳ දේශපාලන වේදිකාවේ කතා කළද ඒවා හුදු රැවටීම් පමණි. එය තවදුරටත් පසක් වන්නේ තවමත් රට තුළ දක්නට ලැබෙන රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම බව හා අනෙකුත් බොහෝ ප්‍රශ්න තවමත් එලෙසම පවතින නිසාවෙනි.
මෙය හොඳාකාරව වටහාගත් නව රජය ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ 2024 ජනාධිපතිවරණයටත් පෙරදීය. පසුගිය වසරේ DoIT නමින් සමුළුවක් පැවැත්වූ ජාතික ජන බලවේග පක්ෂය රට පුරා විසිරුණු IT ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ලොවපුරා විසිරී සිටින IT ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එකතු කරගනිමින් රට ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය සියලුම සැලසුම් ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් එළි දැක්වීය. මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කෙරෙහි රජයේ අවධානය හා උනන්දුව මහජනයාට පසක් කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් ස්ථාපිත කරන ලදි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එහි ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සියලුම වගකීම දරන්නේය. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේද ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක හාන්ස් විජයසූරිය මහතාගේද උපදෙස් හා මැදිහත්වීම මත ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික නියෝජිතායතනය හා සමගාමීව ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාවන්ට අනුකූලව මේ වනවිටත් වැඩ කටයුතු ආරම්භ කර ඇත.
අකාර්යක්ෂමතාව
අනාගත ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන ඩිජිටල්කරණය රාජ්‍ය යන්ත්‍රණය ගුණාත්මක කිරීමට පමණක් නොව ශ්‍රී ලාංකික පුරවැසියාද දියුණුව කරා රැගෙන යනු ලබන ඉතා විශාල පියවරක් වේ.
විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව සහ දූෂණය මැඬලීම සඳහා ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය පියවරකි. කඩදාසි ලිපි ලේඛන මත පදනම් වූ රාජ්‍ය ක්ෂේත්‍රයේ විෂමාචාරයන්, කළමනාකරණයේ ගැටලු අවසන් කිරීම ශ්‍රී ලංකාව වැනි රටක ඩිජිටල්කරණයේදී ප්‍රධාන වශයෙන් අවධානයට බඳුන් විය යුතු කරුණකි. නමුත් මෙය එක් තාක්ෂණික ක්ෂේත්රයකට පමණක් සීමා නොවී කෘෂිකාර්මික ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ධීවර කර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රය ආදී ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක පරිපූර්ණ ප්‍රවේශයක් සඳහා ගිණුම්ගත විය යුතුය.
කඩදාසි මත පදනම් වූ රාජ්‍ය යන්ත්‍රණය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේදී සේවා අතිරික්තයක් නිර්මාණය වීම සාමාන්‍ය කරුණකි. නමුත් එම කාර්ය මණ්ඩල පුහුණු කිරීම තුළින් නව තාක්ෂණික පද්ධතීන්වල වැඩ කටයුතු සඳහා යොමු කිරීම තුළින් එම ගැටලු කළමනාකරණය කර ගැනීම රජය සතු කාර්යභාරයයි.
ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ, රටක් වශයෙන් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ නොදියුණු ස්ථානයකයි. එම නිසා ඉක්මන් තීන්දු තීරණ තුළින් මෙම ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙනයෑමේ අවශ්‍යතාව පසක් කරගෙන ඇත.
එනම් Govpay මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණය ඩිජිටල්කරණය කිරීම සහ Digital ID මඟින් ශ්‍රී ලංකාවේ පුරවැසියාගේ අනන්‍යතාව ඩිජිටල්කරණය කිරීමත්ය.
ඩිජිටල් ජාතික හැඳුනුම්පත
2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ඩිජිටල් ජාතික හැඳුනුම්පත රටේ පුරවැසි අනන්‍යතාව හඳුනාගැනීමේ පද්ධතියෙහි පමණක් නොව රටෙහි සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්වල සැලකිය යුතු සංක්‍රාන්තියක් සනිටුහන් කරයි. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රු. බිලියන 20ක් වන අතර සියලුම නව ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ආකෘතියකට පරිවර්තනය කිරීම මඟින් වත්මන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් විසඳීම අරමුණු කරයි.
බිලියන 1.3කට අධික ඉන්දියානු පුරවැසියන් බඳවාගෙන ඇති Aadhaar ඩිජිටල් අනන්‍යතා පද්ධතිය හා සමාන අනන්‍යතා පද්ධතියක් ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ව්‍යාපෘතියේ අරමුදල්වලින් අඩක් ඉන්දියාවෙන් ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ දත්ත ආරක්ෂාව කෙරෙහි තර්ජනයක් පවතින බවට රජයට විරුද්ධ පාර්ශ්වයන් විසින් විවිධ මඩ ප්‍රචාරණ දියත් කළද සත්‍ය කරුණ නම් ශ්‍රී ලංකා රජය විසින් පුරවැසියන්ගේ පුද්ගලික දත්ත පවත්වාගෙන යනු ලබයි. එම දත්ත සඳහා බාහිර රටවල්වල හෝ ආයතනවල බලපෑමක් නැත. ඉන්දියාව විසින් මෙම ව්‍යාපෘතිය කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා තාක්ෂණික සැකසුම් සහාය ලබාදෙනු ඇත. ඩිජිටල් ජාතික හැඳුනුම්පත සඳහා ඉන්දියානු සමාගමක සේවාවන් භාවිත කිරීමට තීරණය කරන ලද්දේ පෙර පරිපාලනයන් විසිනි. 1972දී හඳුන්වාදුන් වත්මන් ජාතික හැඳුනුම්පත, වයස අවුරුදු 15 සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ප්‍රාථමික හඳුනාගැනීමේ ලේඛනය ලෙස ක්‍රියා කරන අතර රජයේ සේවාවන්, බැංකු සේවාවන් හා ඡන්දය ප්‍රකාශ කිරීම ආදී විවිධ නිල අරමුණු සඳහා ප්‍රවේශ වීමට යොදා ගනී. ජාතික හැඳුම්පත් ඩිජිටල්කරණය ශ්‍රී ලංකාව තුළ වසර 50කට වැඩි එදා මෙදා තුර සිදු වූ වඩාත් වැදගත්ම පරිවර්තනය වන අතර අනෙකුත් දියුණු ආසියානු රටවල් සමඟ සම ස්ථානයක ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට මෙම පරිවර්තනය හේතු වනු ඇත.
මුදල් නෝට්ටු මත පදනම් වූ ගෙවීම් වංචා සහ දූෂණය, ගනුදෙනු ක්‍රියාවලීන්හි අකාර්යක්ෂමතාව සහ ඇතැම් අවස්ථාවන්හි අදාළ පාර්ශ්ව මඟින් වගවීමක් නොමැති වීම වැනි ගැටලු වැඩි වීමට හේතු වී තිබේ. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා, රජය සියලුම ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට පියවර ගනිමින් සිටියි.
දත්ත හුවමාරුව
රාජ්‍ය ව්‍යවසාය අංශයට පූර්ණ ප්රතිලාභ ලබා ගැනීම සඳහා, රාජ්‍ය යන්ත්රණයට සම්බන්ධ අන්තර් පද්ධති සම්බන්ධීතාව සහ එහි වත්මන් භාවිතාවේ මට්ටම පිළිබඳ පූර්ණ දැක්මක් පැවතිය යුතුයි. රාජ්‍ය සේවාවන්හි අන්තර් සම්බන්ධීතාවයේ මූලික අවශ්‍යතාව වන්නේ සියලුම රාජ්‍ය ඒකක අතර දත්ත හුවමාරුව සිදුවීමයි. නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණය තුළ තවමත් එවැන්නක් දක්නට නැත. නමුත්, එක් එක් ඒකක සඳහා වෙන් වෙන් වශයෙන් දත්ත ගබඩා කිරීම සහ දත්ත හැසිරවීම සිදු වේ. මෙම ගැටලු සැලකිල්ලට ගනිමින් වත්මන් රජය විසින් සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ජනාධිපති අරමුදලට අදාළ සේවාවන් කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ව්‍යාප්ත කර ඇත. එසේම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල විද්‍යුත් ක්‍රම මඟින් ලබා ගැනීමට ඉඩ සැලසේ. ඉලෙක්ට්‍රොනික උපත්, විවාහ සහ මරණ සහතික (EBMD) පහසුකම හඳුන්වා දීම සඳහා GovPay හඳුන්වා දී ඇත.
මෙම මුලපිරීම මඟින් ජනාධිපති අරමුදලේ සේවාවන් මහජනතාවට වඩාත් සමීප වේ. එපමණක් නොව, මෙම සේවාවන් සඳහා හිමිකම් ඇති අයට ඒවා නිසි පරිදි ලැබෙන බව වත්මන් රජය විසින් සහතික කරයි. උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාගැනීමේ යල් පැනගිය ක්‍රම වෙනුවට, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කන්සියුලර් කාර්යාල රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙහි දත්ත පද්ධතියට සම්බන්ධ කරනු ඇත. සහතිකවල පිටපත් කන්සියුලර් කාර්යාලයෙන් ඍජුවම නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.