Home » පොල්දූව වටරවුම ආශ්‍රිතව 21වැනිදා දක්වා විරෝධතා බැහැ

පොල්දූව වටරවුම ආශ්‍රිතව 21වැනිදා දක්වා විරෝධතා බැහැ

by chanaka
March 17, 2025 3:45 pm 0 comment

කල්පනි අබේසිංහ

වැලිකඩ පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට සූදානම් කර තිබෙන විරෝධතාවය හා සත්‍යග්‍රහය මහජනතාවට හෝ දේපළවලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් පවත්වන ලෙසට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(17) නියෝග කළේය.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මෙම මස 17 දින සිට 21 වැනිදා දක්වා වැලිකඩ පොල්දුව වට රවුම ආශ්‍රිතව විරෝධතාවයක් සහ සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එය වැළැක්වීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිකඩ පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය.

යම් පිරිසක් ඉහත සඳහන් දින කිහිපයේ වැලිකඩ, පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙලෙස දැනුම් දී තිබුණි.

අදාළ දිනවල දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමට ඒකාබද්ධ උපාධිධාරී සංගමය වගබලා ගතයුතු බවට මහේස්ත්‍රාවරයා නියෝග කළේය.

මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කරන අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවට අධිකරණයෙන් වැඩිදුරටත් දැනුම් දෙනු ලැබීය.

සිද්ධියට අදාළ වග උත්තරකරුවන් වන, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්, මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක, බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල සහ විරෝධතාවය හා සත්‍යග්‍රහයට සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරනු ලැබීය.

අධිකරණය මගින් නිකුත් කර තිබෙන එම නියෝගය කඩ කරන්නේ නම් පොලිසියට ලැබී තිබෙන බලතල අනුව ක්‍රියාකර එම විරෝධතාවයන් විසුරුවා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහේශාත්වරයා පොලිසියට නියෝග කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT