වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය අද (17) ප්‍රකාශ කිරීමට නියමිතය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා නිකුත් කළ එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය සහ වග උත්තරකාර පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශ කෙරේ.
අභියාචනාධිකරණ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම කරුණු සලකා බැලීම ඉකුත් 12 වැනිදා අවසන් කෙරිණ.
2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘W 15’ හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු වූ අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු මරණයට පත්වී තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බී වාර්තාවකට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන ලදී.
තමන්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීති විරෝධී මෙන්ම අසාධාරණ වන බැවින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පාවිල ඇතුළු දහ හතර දෙනකු නම් කර සිටියි.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා තවදුරටත් රට තුළ සැඟවී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්වාස කරමින් ඔහු සැඟව සිටින බවට සැකකරන ස්ථාන තවදුරටත් පරීක්ෂාවට ලක්කරමින් සිටිති.
හිටපු මැති ඇමැතිවරුන්ගේ නිවාස වෙහෙර විහාර ඇතුළු ස්ථාන 20කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට මේ වන විට ලක්ව ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ ඔහුගේ බිරිය වන පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනියද අතුරුදන්ව සිටියාය. ඒ ඔවුන්ගේ දරුවා ද සමඟිනි. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් බව කියන එම දරුවාත් බිරිඳත් අතුරුගිරියේ පිහිටි නිවසට පසුගියදා පැමිණ ඇත. ඒ අයගෙන්ද දේශබන්දු තෙන්නකෝන් මහතා ගැන විමසා ප්‍රශ්න කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ගණේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව ඝාතනයේ මහ මොළකාරියක් ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි, කිරිබත්ගොඩ රජයේ ඉඩමක් අලෙවි කිරීමට සම්බන්ධ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි යන සැකකරුවන්ද මේ වන විට පොලිසියට කට්ටි පනිමින් සැඟව සිටිති.