ගල්කිස්ස බඩෝවිට තුන්වන අදියර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කොස්තාපල්වරයකුට පිහියෙන් ඇන පලාගිය සමන්ත නොහොත් ‘වෙලේ සුදා“ගේ සහෝදරයා සොයා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය කියයි.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොළේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු මුරපොළේ ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරීන් කීහිප දෙනෙකු සමඟ බඩෝවිට 3 වන අදියරේ පෙරේදා (15) පස්වරු පහට පමණ වැටලීම් රාජකාරියේ නිරතව සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව කළ මෙම වැටලීමේදී වෙළේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිද්ධිය සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. සැකකරු කොස්තාපල්වරයා සමඟ පොර බදා ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් නිලධාරියාගේ උදරය හා වැළමිට ප්‍රදේශයට තුවාල සිදු වී ඇතැයි ද පොලීසිය පවසයි.
සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලීසියෙන් පොලිස් කණ්ඩායම් දෙකක් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් බැගින් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරී රෝහන පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර, බඩෝවිට පොලිස් මුරපොළ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න රත්නායක යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.