විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතාට වෙඩි තබා ඝාතනය කිරීම මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් මුල්කරගත් සිදුවූවක් බවට සැකකරන තොරතුරු රැසක් අනාවරණය වීම හේතුවෙන් විමර්ශන කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර විමර්ශන ආරම්භකර ඇත.
සිරිදත් ධම්මික මහතා විශාල වශයෙන් මුදල් පොලියට දී ඇති බවත් ඔහුගේ ප්‍රතිවාදියා වී ඇත්තේද බන්ධනාගාරයේම විශ්‍රාම නිලධාරියෙක් බවටත් තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා අතර ගැටුමක් ද තිබී ඇති බවත් දෙදෙනා අතර විරසකභාවයක්ද තිබී ඇති බවට තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.
ඒ ගැනද අවධානය යොමුකරමින් සිරිදත් ධම්මික මහතා විශාල වශයෙන් මුදල් පොලියට දී ඇති පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම ඝාතනය හා මුදල් පොලියට දීම අතර සම්බන්ධයක් ඇති බව පෙනී යන බැවින් ඔහුගෙන් මුදල් පොලියටගත් අය හඳුනා ගැනීමට අවශ්‍ය බවද එම නිලධාරියා කීය. ඒ සඳහා සිරිදත් ධම්මික මහතා පොලියට මුදල් ලබාදුන් පුද්ගලයන්ගේ ලැයිස්තුව සොයා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා පවුලේ සාමාජිකයන්ගේ සහය ඉල්ලා සිටින බවත් එම නිලධාරියා කීය.
සිරිදත් ධම්මික මහතාට වෙඩි තබා මරා දමන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසිනි. එම යතුරුපැදිය සමඟ තවත් යතුරුපැදියක් යක්කලමුල්ල සීතලදොළ ආරණ්‍ය ප්‍රදේශයේ කටුපොල් වගා බිමක දමාගොස් තිබියදී පසුගිය 13 වැනිදා පොලීසිය සොයාගත්තේය. එක් යතුරුපැදියක් 2023 වසරේදී කෑගල්ලෙන් සොරාගත් එකක් බවත් අනෙක් යතුරුපැදිය පසුගිය පෙබරවාරි මාසයේදී යක්කලමුල්ලෙන් සොරාගත් එකක් බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
සිරිදත් ධම්මික මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි විශාධා පෙරේරා මහත්මිය මරණය සිදුව ඇත්තේ හිසට වෙඩි වැදීමෙන් සිදුවු බරපතළ තුවාල හේතුවෙන් බවට පසුගිය 14 වැනිදා නිගමනය කළාය.
කරාපිටිය රෝහලට ගිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝග කොට වැඩිදුර සාක්ෂි විමසීම 26 වැනි දිනට කල් තබන ලදි.
ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම්, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත.