සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට, එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියකු විසින් ලිංගික අඩන්තේට්ටම් කිරීම නිසා කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
මොහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එම ප්‍රදේශයේ වැඩ පොළක් ( Work Shop ) පවත්වා ගෙන යන්නෙකි.
මොහු පෙරේදා (15) රාත්‍රී 10.00ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. එසේ පැමිණෙන අතරවාරයේ අධික ලෙස බීමත්ව එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කර තිබේ. මෙම සිදුවීම පිළිබඳ වහාම එම ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයෙහි ගුවන් නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරි මධ්‍යස්ථානය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී තිබේ.
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වූ ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර මෙම ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී මොහු අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු කර තිබේ.