ග්‍රහණි රෝගය පිළිබඳ ඔබ දැනුම්වත් ද?
ආයුර්වේද රෝග වර්ගීකරණයේ දැක්වෙන ග්‍රහණි රෝගය, බටහිර වෛද්‍ය විද්‍යාවේ IBS (Irritable Bowel Syndrome) නමින් හඳුන්වන රෝගය හා තරමක් දුරට ලක්ෂණානුරූපව සමපාත වන අතර එය වත්මන් සමාජයේ බොහෝ දෙනා පීඩාවට පත්වී සිටින රෝග තත්ත්වයකි. ග්‍රහණි රෝගය විවිධ ස්වරූපයෙන් විද්‍යමාන විය හැකි අතර එහිදී, වැසිකිළි යෑමේ අවශ්‍යතාවයේ සහ වාර ගණනේ වැඩිවීමක් සිදුවේ. ඇතැම්විට ආහාරයක් ගත් විගස, තේ, කිරිතේ වැනි පානයක් ගත් විගස හෝ සමහර පුද්ගලයන්ට දුම්පානය හෝ බුලත්විටක් ගත්විට වැසිකිළි යාමේ අවශ්‍යතාව පැන නඟී. එසේ වැසිකිළි ගියත් මළ පිටවන ප්‍රමාණය අඩු වන අතර නැවත නැවත යාමේ අවශ්‍යතාව ඇතිවේ. සමහර අවස්ථාවලදී ගමනක් යනවිට අතරමගදී, සේවයට පිටත් වීමට සූදානම් වන මෙහොතේදී හදිසියේ වැසිකිළි යාම සිදු කරන්නේ බොහෝවිට මෙම තත්ත්වය හේතුවෙනි. එහෙත් කාලීනව ඇති කරගත් පුරුද්දක් නිසා ද විය හැකිය.
රෝග ලක්ෂණ
බඩවැල් පෙරළීම, උදර වේදනාව (ආහාර ගැනීමෙන් යම් වේලාවක් ගත වූ පසු) මළ පිටවීමේ වෙනස් වීම් (මලබද්ධය, ඝන හෝ අර්ධ ඝන තත්ත්වයෙන්), අධිකව අධෝ වාතය පිටවීම ආදිය දැක්විය හැකිය.
ග්‍රහණි රෝගය සඳහා නිශ්චිත හේතුවක් දක්වා නොමැති අතර ආහාර ජීර්ණය හා සම්බන්ධ ගැටලු, ආහාර මාර්ගයේ ක්රමාකුංචන චලන සහ සංවේදීතාව සම්බන්ධ ස්නායුමය ගැටලු සහ මානසික තත්ත්වයන් හේතුවන බව දක්වා ඇත. රෝගය සඳහාම වූ නිශ්චිත ශල්‍ය හෝ චිකිත්සීය ප්‍රතිකාරයක් සිදු නොකරයි.
ආයුර්වේදීය විවරණය අනුව ග්‍රහණි ලෙස හඳුන්වනු ලබන්නේ, ජීර්ණය වන ආහාර ශරීරයට ග්‍රහණය කරගන්නා කොටස එනම් ආමාශයෙන් පහළ ඇති ක්ෂුද්රාන්ත්රය, මහාන්ත්‍රය හා ඒ සම්බන්ධ සියලුම අවයවයන් වන අතර ඒ හා සම්බන්ධ විකෘති තත්ත්වය නිසා මෙම රෝගය ඒ නමින් හඳුන්වනු ලබයි. මෙහිදී රෝගයට හේතු ලෙස ආහාර දිරවීමේ හැකියාව දුර්වල කරන සියලුම ආකාරයේ උණ රෝග, පාචන, අතීසාර වැනි රෝගවලින් පෙළෙන අවස්ථාවලදී සහ ආහාර රුචිය අඩු අවස්ථාවලදී දිරවීම අපහසු ආහාර ගැනීම, ඔබ ගත් ආහාරයක් දිරවීමට ප්‍රථම නැවත නැවත ආහාර ගැනීම (කෑ පිට කෑම), අධික ප්‍රමාණවලින් ආහාර ගැනීම, ප්‍රධාන ආහාර වේල් ගත් විගස නිදා ගැනීම, තෙල් බහුල ආහාර, අධික උෂ්ණ ආහාර බහුලව සේවනය කිරීම වේ.
රෝග ලක්ෂණ රෝගයේ අවස්ථා අනුව දීර්ඝව දක්වා ඇත.
එහිදී මූලිකව ශරීරයේ අලස බව, බර බව, වෙහෙස නොවී වෙහෙස දැනීම, උදර ආශ්‍රිත අධික ශබ්ද ඇතිවීම්, උගුර කට වියළීම, බඩ පුරවා දැමීම, අධිකව අධෝවාතය පිටවීම, පපු පෙදෙසේ වේදනාව, ඔක්කාරය, වමනය, මළපහ සමඟ සීදම් පිටවීම, අක්‍රමවත් මළපහ පිටවීමේ රටාව ආදිය දක්වා ඇති අතර මෙම තත්ත්වය කාලීනව වර්ධනය වූ විට එය වෙනත් ශාරීරික රෝග තත්ත්වයන් ලෙස ද ඇතිවේ.
එවිට ගෙල, ඉකිළි, කලව ආශ්‍රිත මාංස පේශිවල අධික වේදනා තත්ත්වයන්, පපු පෙදෙසේ වේදනාව, කොන්ද ප්‍රදේශයේ වේදනා සහ සන්ධි ආශ්‍රිත වේදනා ලෙස ද රෝග ලක්ෂණ පෙන්වනු ලබයි. මෙම තත්ත්වය කාලීනව පවතින අම්ල පිත්ත එනම් ගැස්ට්‍රයිටීස් නිසා ඉක්මනින් ඇති විය හැකිය.
ග්‍රහණි රෝගය සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතින අතර එහිදී, මූලිකවම ආහාර ජීර්ණය කිරීමේ ශක්තිය වැඩිකිරීම සහ අන්ත්‍රවල ක්රමාකුංචන චලන යථා තත්ත්වයට පත්කිරීම සිදු කරනු ලබයි. ප්‍රතිකාර සිදු කරන කාලය අතරතුර ඊට අදාළ ආහාර රටාවන් සහ වැළකිය යුතු දේවලින් රෝගියා ඉවත්වීම අත්‍යවශ්‍ය වේ. එසේ ක්රමානුකූල ප්‍රතිකාර පද්ධතියක් මඟින් සතියක් හෝ සති කිහිපයක් තුළ මෙම රෝගයෙන් අත්මිදිය හැකිය.
ග්‍රහණි රෝගය සඳහා පොදු ප්‍රතිකාර පද්ධතියක් දැක්විය නොහැකි අතර එය රෝගියා අනුව, වයස හා ස්ත්‍රී පුරුෂ බව අනුව, රෝගයේ ස්වභාවය අනුව, වෙනත් ලබාගන්නා රෝග ප්‍රතිකාරයන් ආදිය අනුව ද වෙනස් වන අතර සුදුසුකම් සහිත වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගත හැකිය.
නොගත යුතු ආහාර වර්ග
ගැඹුරු තෙලේ සහ නැවත භාවිත කරන තෙල්වලින් බදින ආහාර (කෙටි ආහාර වර්ග), කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස්, අමු පොල් යොදා සකස් කරන පොල් සම්බෝල, කොස්, පොළොස්, වරකා, කඩල, සියලුම කේක් වර්ග සහ ඒ ආශ්‍රිත ආහාර වර්ග (ඩෝනට්, කප් කේක් ආදී…), පිෂ්ට සහ තෙල් බහුල ආහාර වර්ග.
මෙහි දක්වා ඇති ආහාර මඟින් ග්‍රහණි රෝගය මෙන්ම ගැස්ට්‍රයිටීස් සහ මිග්‍රේන් වැනි රෝගයන් වැඩිවීම සහ සුව වීමට කල්ගතවීම සිදු වන අතර ඒවායින් වැළකීම ඉතා සුදුසු වේ.
උපදෙස් – රජයේ ආයුර්වේද වෛද්‍ය ඊ.එම්.ඊ.එස්. අලහකෝන්
ඉරෝෂා දීපානි
මවකගේ මොළයේ හැකිළීම හෙවත් සොබාදහමේ දායාදය
මෑතකදී එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණ මාලාවක ප්‍රතිඵල අනුව ගර්භණී සමයේදී හා දරු ප්‍රසූතියෙන් මාස හයක් දක්වා වූ කාල සීමාවේදී එම මවුවරුන්ගේ මොළයේ සිදුවන සුවිශේෂී වෙනස්කම් රැසක් නිරීක්ෂණයට ලක්වී තිබේ.
ඒ අනුව වයස අවුරුදු 20ත් 38ත් අතර වන මවුවරුන්ගේ (නියැදියේ) මොළය ආශ්‍රිතව ලබාගත් MRI Scan දත්ත අනුව මොළය යම්කිසි ආකාරයක හැකිළීමකට නොඑසේ නම්, සංකෝචනයකට (Shrinkage of the gray matter of the brain ) ලක්ව ඇති බව තහවුරු වී ඇත.
මේ තත්ත්වය නිසාම බොහෝ ගර්භණී කාන්තාවන්ට අමතක වීමේ සම්භාවිතාව ඉහළ යෑම ( උදාහරණයක් ලෙස යම්කිසි දෙයක් තැබූ ස්ථානය අමතක වීම , තමන් විසින්ම තැබූ සටහනක් නැවත ස්මරණය කිරීමේ නොහැකියාව) ආදිය මෙන්ම දෛනික කාර්යයන් අතපසුවීම දැකගත හැකිය.
එසේම සාපේක්ෂ වශයෙන් ගඳ සුවඳ දැනීම තීව්‍ර වීම , නුරුස්සනා සුලු ස්වභාවය ඉස්මතු වීම ද මෙහිදී නිරීක්ෂණය වී තිබේ. ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නේ මොළයේ ඇති සෛල ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩුවීම නොව විශාලත්වයෙන් අඩුවී හැකිළීමට ලක් වීමයි. මෙසේ හැකිළීමට ලක් වූ නියුරෝන දරු ප්‍රසූතියෙන් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වන අතර මොළයේ ධාරිතාව ද පෙර පැවති ප්‍රමාණයටම පත් වන බව මෙහිදී පෙනී ගිය කරුණකි.
එමෙන්ම, මෙහිදී වැදගත්ම සහ වඩාත්ම විමතිය දනවන කාරණය වන්නේ මොළයෙහි සිදුවන මෙම සංකෝචනය තුළින් (reduction of gray matter) මවටම ආවේණික වූ වෙනත් හැකියාවන් කිහිපයක් තාවකාලිකව ඉස්මතු වීමයි.
එනම්, භාෂාවකින් තොරව ශබ්ද සහ සංඥා ආශ්රයෙන් පමණක් යමක් තේරුම් ගැනීමට ඇති හැකියාව පෙර නොවූ විරූ ලෙස ඉහළ යෑම. එය මෙහි ප්‍රධානතම නිරීක්ෂණයයි. මෙය මව සහ බිලිඳා අතර සන්නිවේදනය ඉහළ දැමීමට සොබා දහම විසින් ගන්නා වූ ක්‍රියාමාර්ගයක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.
සහජ බුද්ධියේ (instincts) හා චිත්ත වේගීය බැඳීම් (emotional bonding) වලට අදාළව කටයුතු කරන මස්තිෂ්ක ප්රදේශයන්ද මෙම හැකිළීම අතරවාරයේදී යුහුසුලුව ක්‍රියාත්මක වන බවද නිරීක්ෂණය වී ඇත.
මෙම සියලු කාරණා හරහා ළදරුවා හා මව අතර ආරක්ෂණ – යැපීම් සහසම්බන්ධය සොබා දහම විසින් තහවුරු කරනු ලබයි.
වෛද්‍ය ඩී.එම්. අමරසේකර
සැලකිලිමත් විය යුතුම ආඝාතය
ඉකුත් වසර 10ක කාලය පුරාවට ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වලට ඇතුළත් කළ ආඝාත රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇති බවත්, වාර්ෂිකව 60,000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් රෝහල් ගත කර තිබීමෙන් සංඛ්‍යා ලේඛන අනුව ද මෙහි අවදානම කියාපායි. එමෙන්ම, ලෝක ආඝාත සංවිධානය මඟින් ලෝක ආඝාත දිනය ප්‍රකාශයට පත් කර ඇත. මෙහිදී ආඝාත රෝගීන්ගේ ස්වභාවය සහ රෝගය වැලඳීමේ ඉහළ අනුපාතයන් පිළිබඳ දැනුම්වත්භාවය ඉහළ නැංවීම රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම මෙන්ම මෙයින් අවධාරණය කෙරේ. ඉඳින්, අපගේ මොළයේ කොටස් යම් යම් කාර්යයන් කිරීම සඳහා සූදානම්ව සිටියි. එසේම අප ශරීරයේ සිදු කරන කාර්යයන් මොළයේ කාර්යයන්ම වේ. මොළයේ යම්කිසි දුර්වලතාවක් ඇති වුවහොත් ඊට අදාළ කාර්යය සිදු කරගත නොහැකිය. සියලුම අවයවවලට රුධිර සැපයුමක් ඇතුවා සේම මොළයටද රුධිර සැපයුමක් පවතී. රුධිර ප්‍රවාහනයේ යම් අපහසුවක් සිදුවුවහොත් එම රුධිරය ලබන ප්‍රදේශය අඩපණ වීමකට ලක්වේ. එවිට මොළයේ යම් කොටසක් ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්වේ. මෙසේ වී යථා තත්ත්වයට පත්වීම සුළු ආඝාත තත්ත්වයකි. ආඝාතය ඇති වන්නේද හෘදයාබාධයක් හටගන්නා ආකාරයටමය. ඒත් ඒ සිදුවන්නේ මොළය තුළය.
මෙය දෙයාකාරයකට සිදුවේ.
* රුධිර සැපයුම අවහිරවීම
* නහරයක් පුපුරා මොළය තුළට රුධිරය වැගිරීම
මේ තත්ත්වයන් දෙකම දැකගත හැකි අතර වඩාත් දක්නට ඇත්තේ රුධිර සැපයුම අවහිර වීමයි. එය 80%ක් පමණ වේ.
රුධිරය වැගිරීම තුළින් සිදුවන්නේ ස්නායු සෛල තෙරපීමකට භාජනය වීමයි. රුධිර සැපයුම අඩු වීමක් සිදුවුවහොත් ඊට අදාළ ප්‍රදේශය ක්‍රියා විරහිත වේ. මෙසේ වීමට ප්‍රධාන හේතුව මොළයට රුධිරය සපයන රුධිර වාහිනීවල අභ්‍යන්තර බිත්තිවල මේදය තැන්පත් වීමය. මෙවැනි රුධිර වාහිනී තුළ රුධිර කැටි මඟින් අවහිර වීමට ඇති හැකියාව ද වැඩිය. එවිට ඒ රුධිර වාහිනීවලට සාමාන්‍ය පරිදි මොළයට රුධිරය සැපයීමට නොහැකි වීමෙන් එම ඉන්ද්‍රියයන්ට හානි සිදුවේ.
බරපතළ ආඝාතය
ආඝාතයකදී දක්නට ලැබෙන සුලභම රෝග ලක්ෂණය නම් මුහුණේ අත්වල හෝ පාදවල හදිසියෙන් ඇතිවන දුර්වල වීමකි. බොහෝවිට ඒ ශරීරයේ එක් පසෙක පමණක් දක්නට ලැබේ. මීට අමතරව
* මුහුණ අත් හෝ පාදවල ඇතිවන හිරිවැටීම( මෙය විශේෂයෙන් ශරීරය එක් පැත්තක දක්නට ලැබේ.), කථන අපහසුතාව හෝ කතා කරන දේ අන් අයට තේරුම් ගැනීමට නොහැකි වීම, එක් ඇසක හෝ දෑසම හෝ පෙනීමේ දුර්වලතාවක් ඇතිවීම, ඇවිදීමේ අපහසුතාව, කරකැවිල්ල ශරීරයේ සංතුලනය හෝ සමායෝජනය නැතිවී යෑම , හේතුවක් නැතිව ඇතිවන අධික හිසරදය, ක්ලාන්ත වීම හෝ සිහි නැති වීම ආදිය ද වෙයි.
ආඝාතයෙන් පසුව පවතින සෞඛ්‍ය තත්ත්වය රඳා පවතින්නේ මොළයේ කුමන කොටසට හානි වී තිබේද හා එම හානියෙන් ඇති වූ බලපෑමේ තීව්‍රතාව මතය. ආඝාතයක් මඟින් ශරීරයේ එක් කොටසකට එනම් මුහුණට අතකට හෝ පාදයකට පමණක් බලපෑමක් ඇතිවිය හැකියි. එමඟින් ශරීරයේ එක් පැත්තක් මුළුමනින්ම අප්‍රාණික වීමට ඉඩකඩ පවතියි. ඉතා බරපතළ ආඝාතයක් මඟින් හදිසි මරණය පවා ඇතිකළ හැකිය.
සුළු ආඝාතය
සුළු ආඝාත තත්ත්වයක ලක්ෂණ බරපතළ ආඝාත තත්ත්වයක ලක්ෂණවලට සමාන විය හැකියි. එහෙත් ඒවායේ බලපෑම එතරම් බරපතළ නොවේ. රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් කෙටි කාලයක් බොහෝ විට පැයකට වඩා අඩු කාලයක් පවතී.සුළු ආඝාත තත්ත්වයක් එක් වරක් හෝ කිහිප වරක් ඇතිවුණු පුද්ගලයකුට පසු කලකදී බරපතළ ආඝාත තත්ත්වයක් දක්වා ඇතිවිය හැකියි.
ආඝාතයක් ඇති වූ විට කළ යුතු දේ
යම් පුද්ගලයෙකු ආඝාතයක ලක්ෂණ පෙන්වන්නේ නම් ඉක්මනින් වෛද්‍යවරයකුට හෝ ගිලන් රියකට හෝ දැන්විය යුතුයි. නැත්නම් ආසන්නයේ පිහිටි රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට වහා ඇතුළත් කළ යුතුයි. රෝග ලක්ෂණ බරපතළ නොවූවද මෙසේ කළ යුතුවේ.එයට හේතුව සුළු ආඝාතයක් තව දුරටත් බරපතළ තත්ත්වයට වර්ධනය විය හැකි නිසායි. සුළු ආඝාත තත්ත්වයකදී වුවද ඔබ ඉහත ක්‍රියාමාර්ග ගත යුතුයි. ආසන්නව රෝහලක් හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නොමැති නම් වෛද්‍යවරයකුට යොමු විය යුතුවේ.
ආඝාත තත්ත්වයට ප්‍රතිකාර කිරීම
ඔබට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාරවල මට්ටම රෝහලින් රෝහලට වෙනස් විය හැකියි. ලැබිය යුතු ප්‍රතිකාර ප්‍රමාණය ආඝාතයේ බරපතළකම අනුව තීරණය වේ.
ආඝාතයක මූලික ලක්ෂණවලින් පැය තුනක් ඇතුළත ඔබ රෝහලට පැමිණියහොත් ඒ වෛද්‍යවරයා විසින් ඔබට ධමනිවල තිබිය හැකි රුධිර කැටි දියකර හැරීම සඳහා රුධිර කැටි දියවීමේ ඖෂධයක් ලබා දෙනු ඇත. කෙසේ වුවද ලබාදිය යුතු ප්‍රතිකාරය තීරණය වන්නේ ආඝාතයට හේතු වූ නිශ්චිත කරුණු මතය.
රෝග විනිශ්චයේදී ඔබට වැලඳී ඇත්තේ කුමන වර්ගයේ ආඝාතයක් ද සොයා බැලීමට වෛද්‍යවරු රෝග ඉතිහාසය ලබාගෙන ඔබව පරීක්ෂා කොට විශේෂ පරීක්ෂණ සිදු කරනු ලැබේ.
ඔබේ රෝග ලක්ෂණ සමනය කිරීමට හා අනාගතයේ ඇතිවිය හැකි ආබාධ තත්ත්වයන් වැළැක්වීමට වෛද්‍යවරයා විසින් බොහෝ විට ඖෂධ නිර්දේශ කරනු ලැබේ.
උපදෙස් – කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු
ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
ජීවිත-රට දෙකම වනසන දුම්පානය
“දුම්පානය ශරීරයට අහිතකරයි, පිළිකා ඇති කරයි” ලෙස දුම්වැටි පැකැට්ටුවේ ද සඳහන් කර තිබියදීත් දුම්පානය කරන්නන් ඒ දැක දැකම දුම්පානය කිරීමට පෙළඹෙන්නේ ඊට ඇබ්බැහිවීම නිසාය. දුම්පානය පුද්ගලයකුගේ කැමැත්ත වුවත් ඒ නිසා සමාජයට මෙන්ම රටේ ආර්ථිකයට ද දැඩි බලපෑමක් සිදු කරන හෙයින් දුම්පානය සහ එහි විනාශය නැවත නැවතත් සිහිපත් කළ යුතුය.
දුම්පානය නිසා දිනකට මිනිස් ජිවිත 40-50 අතර මරණයට පත් කර වසරකදී මිනිස් ජීවිත 15000-20000ත් අතර ප්‍රමාණයක් බිලිගන්නා බවත් දුම්වැටි භාවිත කරන දෙදෙනෙකගෙන් එක් අයෙකු මරණයට පත් කරන බවත් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථාන විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් පවසයි. දුම්පානය පිළිබඳ ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙසේය.
‘දුම්පානය කරන අති බහුතරය රෝගීන් බවට පත් කරනවා. හෘදයාබාධ, පිළිකා වැනි මාරාන්තික රෝග ගණනාවකට දුම්පානය බලපානවා. බෝනොවන රෝග අනුපාතය සාමාන්‍යයෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. විශේෂයෙන්ම බෝ නොවන රෝග ඇති කිරීමට බලපාන ප්‍රධාන සාධක අතර දුම්පානය සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනය මූලිකම හේතුවයි. දුම්පානය, සෞඛ්‍යසම්පන්න නොවන ආහාර රටා, මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යායාම නොකිරීම යන සාධක බෝනොවන රෝගවලට බලපාන සාධකයි. මීට අමතරව ලිංගික බෙලහීනතාව ඇතිකිරීමට ප්‍රධාන හේතුසාධකය ද දුම්පානයයි.
දුම්පානය කරන්නන්ගේ ජිවිතය දුම්පානය සමග සිරගත කරනවා. ඔවුන් දුම්පානය සමඟ සිරවෙනවා. මොවුන් එදිනෙදා ජීවිතයේදී පහසුවෙන් සහ සරලව කළ බොහෝ දේ දුම්වැටියක් නැතිව කිරීමට අපහසු තත්ත්වයකට පත් කරගන්නවා. උදාහරණයක් ලෙස කෑමට පසුව දුම්වැටියක් අනිවාර්යවීම වැනි කෘත්‍රිම අවශ්‍යතා ඇතිවී අවසානයේ වැසිකිළියට යෑමට පවා දුම්වැටියක් නැතිවම බැරි තැනකට ජීවිතය සිරකරගන්නවා.
දුම්පානය නිසා ඇතිවන ඊළඟ ව්‍යසනය ඒ සඳහා වියදම් කිරීමට සිදුවන විශාල මුදලයි. ශ්‍රී ලංකාවේ දිනකට දුම්පානය කරන්නන් කෝටි 52ක් පමණ වැය කරනවා. අඩු ආදායම්ලාභීන් අතරත් දුම්පානය බහුලව දකින්නට තිබෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ආදායමින් සැලකියයුතු ප්‍රමාණයක් දුම්පානයට වැය කරනවා. මේ තත්ත්වය නිවසේ ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයයත් බලපානවා.
දුම්පානය නිසා විශාල බදු ආදායමක් රටට ලැබෙනවා යන මිථ්‍යා විශ්වාසයකුත් ගොඩනැගුණු කාලයක් පැවැතුනා. ඒත් ඒක අසත්‍ය බව අපි මෑතකදී කළ අධ්‍යනයකින් පැහැදිලි වුණා. දුම්කොළ බදු ආදායම සමස්ත බදු ආදායමින් සියයට 6ක්වැනි සුළු ප්‍රමාණයක් පමණයි. 2019 වාර්තා අනුව දුම්කොළ මුළු බදු ආදායම බිලියන 92.9යි. ඒත් දුම්වැටි භාවිතය නිසා සෞඛ්‍යයට රුපියල් බිලියන 214ක් වැයකර තිබුණා. දුම්පානයට ඇබ්බැහිවීම සිට දුම්පානය සහ එයින් ලබන ආදායම වැනි සියල්ලක්ම මෙවැනි අසත්‍ය තොරතුරු බව පැහැදිලි කරුණක්.’
ඒවගේම දුම්වැටියේ දැවී ඉතිරිවන අවසන් කොටස, නැතිනම් අපි සිගරුට් කොටය ලෙස හඳුන්වන කොටස දුම්වැටියේ පෙරණය කිසිදු අයුරකින් ප්‍රතිචක්‍රිකරණය කළ නොහැකියි. ඒ නිසා මේ කොටස් සාමාන්‍යයෙන් වසරකදී ලෝකයේ බිලියන 2200ක් පමණ පරිසරයට මුදාහරිනවා. පරිසරයට ඇතිකරන ප්‍රබල බලපෑම නිසාම වර්තමානය වන විට ලෝකයේ පෙරණය භාවිත තහනම් කිරීමට සාකච්ඡා වෙමින් පවතිනවා.
ඉරෝෂා දීපානි
පාඨක ගැටලු සහ පිළිතුරු
දරුවාට හිසරදයක්!
ප්‍රශ්නය :
මගේ පුතාගේ වයස අවුරුදු 04යි. එයාට නිතරම ඔළුව කැක්කුම කියනවා. පැනඩෝල් දුන් විට තාවකාලිකව අඩු වෙනවා. නැවත දින 03 – 04කින් ඔළුව රිදෙනවා කියනවා. මෙයට කුමක් කළ යුතුද….? (නිරාෂා – මහනුවර )
පිළිතුර :
හිසරදයක් කියනවානම් අපි බලන්න ඕන ඒක මොනවගේ ද කියලා. හිසේ ගෙඩියක් ද වෙන යම් භයානක දෙයක්ද කියා සෙවිය යුතුයි. හිසේ ගෙඩියක් වැනි තත්ත්වයක් තිබෙන්නේ 1%කගේ වගේ අඩු ගණනකට නිසා බිය නොවන්න. ඒ කෙසේ වුණත් ඒක බලන්නේ රතු අවදානම් සාධකවලින්. දෙවැන්න එසේ නොවෙනවානම් දරුවාට තිබෙන්නේ අවදානමක් නොමැති හිසරදයක් ද , ප්‍රාථමික හිසරදයක් ද කියා සොයා බැලිය යුතුයි . ඉරුවාරදය ද , ආතතිය හා බැඳුණු හිසරදය ද, අධ්‍යාපනික ගැටලුවක් ද, වෙනත් ගැටලුවක් ද , දරුවාට ඇතිවූ පීඩනයක් සමඟ ආ හිසරදයක් ද කියා සෙවිය යුතුයි.
ප්‍රශ්නය :
බබා ඉපදුණේ සිසේරියන් සැත්කමකින්. එයාට උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණත් සුව වෙන්න සෑහෙන දවසක් ගත වෙනවා. සිසේරියන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු බව මා අසා තිබෙනවා . එහි සත්‍යතාවක් තිබේද? (සාවිත්‍රි _ කෑගල්ල)
පිළිතුර :
සිසේරියන් සැත්කමෙන් දරුවකු බිහි වෙද්දි අපට හිතකර ක්ෂුද්‍ර ජීවීන් ටික එකතුවෙලා නෙවෙයි දරුවා එළියට එන්නේ. සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවකු බිහිවන විට එම ස්ථානයේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් රැසක් එකතු කරගෙනයි දරුවා එළියට එන්නේ. එනිසා විද්‍යාත්මක දත්ත නිරීක්ෂණයේදී පෙනෙනවා සාමාන්‍ය ප්‍රසූතියකින් බිහිවන දරුවාට ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩියි කියලා. ප්‍රතිශක්තිකරණ සෛල සහ ඒ නිපදවෙන දේවල යම් වාසිදායක තත්ත්වයක් තියෙන බව පෙනෙනවා. දීර්ඝකාලීනව බැලූවිට සිසේරියන් සැත්කමකින් උපදින දරුවන්ට අසාත්මිකතා (ඇලජික්) , හතිය වගේ දේවල් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා බැඳුණු ආරක්ෂාවත් ඒ හා බැඳුණු රෝගවලත් යම් වැඩි ප්‍රතිශක්තියක් නිරූපණය වන බව ඒ පිළිබඳ පළ කර ඇති ජාත්‍යන්තර දත්තවල සහ දීර්ඝකාලීනව ඉපදුණු දරුවන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පෙන්නුම් කරනවා.
උපදෙස් – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය (රිජ්වේ ආර්යා ළමා රෝහල_බොරැල්ල )
මනෝජ් රුක්මල් කුමාරසිංහ
ඔබේ සෞඛ්‍ය ගැටලුවත් අපට යොමු කරන්න
දිනමිණ, සුව හමුව, ලේක්හවුස්, කොළඹ 10
news.dinamina@lakehouse.lk