මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව නව රජයේ අවධානය යොමුව තිබේ. එයට හේතුව බවට පත්ව තිබෙන්නේ දශක ගණනාවකිනි. මෙරට අධ්‍යාපන ක්රමයේ ප්රතිසංස්කරණයක්, ප්රතිසංවිධානයක් නිසි ලෙස සිදු නොවීමය. දැන් එම නව ප්‍රතිසංස්කරණ පිළිබඳව රජයේ අවධානය මතුව ඇත. මෙම ප්‍රතිසංස්කරණ කෙසේ සකස් විය යුතුද ඒවාට ඇතුළත් විය යුතු අංග මොනවාද යන්න පිළිබඳව අධ්‍යාපන විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම විෂය ප්‍රවීණයකු වන ආචාර්ය උපාලි එම්. සේදර මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.

ආචාර්ය
උපාලි එම්. සේදර
මෙරට අධ්‍යාපන ක්‍රමය වසර ගණනාවක සිට පැවැතියේ එකම තැනකය. එය ප්‍රතිසංස්කරණය විය යුතු බවට කලින් කලට අදහස් උදහස් මතුව පැමිණියද එය බොහෝ කාලයක සිට පැවැතියේ එකම තැනකය. අධ්‍යාපන අංශය පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු බවට අදහසක් මතුව පැමිණි අතර එදා එම වැඩපිළිවෙළ සැලසුම් කිරීම තුළ මූලික කාර්ය භාරයක් මා ද ඉටු කළෙමි. මාගේ අදහස බවට පත්ව තිබෙන්නේ වර්තමානයට ගැළපෙන ලෙස මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතුය යන්නය. එසේ ප්‍රතිසංස්කරණය කිරීම අනිවාර්ය අංගයක් ලෙස අප විශ්වාස කරමු. දැන් කළ යුතුව තිබෙන්නේ කාලයක් මඟ හැරීගොස් තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් ආරම්භ කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළක් ආරම්භ කර තිබීම සතුටට කරුණකි. එහෙත් එම වැඩපිළිවෙළ නිසි ලෙස සහ ක්‍රමානුකූලව ඉටු කළ යුතුය යන්න අපගේ විශ්වාසයයි. පසුගිය කාලයේදී අප විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ යෝජනා රැසක් ඉදිරිපත් කළ හැකි අතර එම යෝජනා සහ රජයේ යෝජනා එකට ගෙන වඩාත් හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් වෙත යොමුවීමට හැකියාව ලැබෙනු නියතය. අපට අවශ්‍ය කරන්නේ අනාගත ශ්‍රී ලංකාව වඩාත් හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති සහ දියුණු පාසල් පද්ධතියක් වෙත ගමන් කළ හැකි වැඩපිළිවෙළකි. ඒ පිළිබඳව ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබීම පිළිබඳව ඔවුන් වෙත සතුට පළ කළ යුතුය.
ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන එක්වර ඉටු කළ යුතු දෙයක් වෙනුවට අංශ තුනක් ඔස්සේ මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වඩාත් උචිත දෙයක් ලෙස සඳහන් කළ යුතුය. අද වන විට පාසල් පද්ධතිය තුළ ප්‍රබල ලෙස වර්ගීකරණ බෙදුම් රේඛාවක් තිබේ. මූලිකවම එම බෙදීම අවම කිරීම වෙනුවෙන් වැඩ කළ යුතුව තිබේ. අප රට වැනි දසදහසක පාසල් පද්ධතියක් ඇති රටක නොව බංග්ලාදේශය වැනි අප රට මෙන් කිහිප ගුණයක පාසල් ප්‍රමාණයක් ඇති රටක පවා පාසල් පද්ධතිය සහ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ ආකාරය සලකා බැලිය යුතුය. අපද එම කාර්ය භාරය සඳහා වෘත්තීය ලෙස මැදහත්ව කටයුතු කිරීමට හැකියාව ලැබුණු අතර ඒ නිසාවෙන්ම අපට ඒ පිළිබඳව අත්දැකීම් ප්‍රමාණයක් ද ලැබී තිබේ.
පහළ තිබෙන පාසල් ඉහළටම ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මඟින් පාසල් වෙත තිබෙන අනවරත තරගය අවසානවන අතර එහි ප්‍රතිඵලය බවට පත්වන්නේ තරගකාරී පාසල් අධ්‍යාපන ක්‍රමය වෙනස් වීමය. බංග්ලාදේශය වැනි රටක ප්‍රාථමික පාසල් පමණක් හැත්තෑදහසක ප්‍රමාණයක් තිබේ. ඒ තත්ත්වය තුළ එවැනි විශාල පද්ධතියක් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබීම තුළ අප රට තුළ නිසි ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ නම් එය වඩාත් පහසු සහ හොඳ ප්‍රවේශයක් බවට පත් කර ගැනීමට හැකියාව තිබේ. අපේ පාසල් පද්ධතිය ස්වාධීන මාවතක ගමන් නොකර තිබීම නිසා අපේ අධ්‍යාපන ක්‍රමය තුළම විශාල ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබේ.
පාසල් පද්ධතිය
සියලු පාසල්වලට සම අවස්ථා ලබා දීම මඟින් නව ප්‍රවේශයක් ලබා ගැනීමට පුළුවන. අප කළ සොයා බැලීම්වලදී ළමුන් දෙසීය නොඉක්මවන පාසල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ. තවත් පාසලක පන්දහස ඉක්මවන සිසු පිරිසක් සිටිති. කොළඹ එක් ප්‍රධාන පාසලක සිසුන් ප්‍රමාණය අටදහසද ඉක්මවන බව සඳහන්ය. එය ඇතැමුන් ආඩම්බරයට කරුණක් බවට පත්කර ගෙන සිටියද එය ආඩම්බර විය යුතු කරුණක් නොවේ. කනගාටු විය යුතු කරුණකි. මෙමඟින් අප පාසල් පද්ධතිය සහ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව තිබෙන විෂමතාවය පැහැදිලි කර ගැනීමට පුළුවන. සිදු විය යුත්තේ එවැනි විෂමතා නැතිකර ගත හැකි ක්‍රමවේදයක් අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඇති කර ගැනීමය. එනිසා මූලික ලෙස ලොකු පාසල්, කුඩා පාසල්, හොඳ පාසල්, නරක පාසල් යන බෙදීම නැති කර ගත යුතුය. සමස්ත රටේම අධ්‍යාපන ක්‍රමය සමාන මට්ටමකට ගෙන ඒම කළ යුතුය. එමඟින් ජාතික මට්ටමේ අගැයීම් ක්‍රමයක් මෙරට ඇති කර ගැනීමටය.
කාලයක සිට මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳව පැවැතියේ දිස්ත්‍රික් මට්ටමෙන් ලකුණු ලබා ගන්නා ආකාරය අනුව විශ්වවිද්‍යාල වෙත ප්‍රවේශය ලබා දෙනු ලබන ක්රමයකි. එහෙත් සමස්ත අධ්‍යාපන ක්රමවේදයම සමාන ක්‍රමයකට සකස් කළ හැකි නම් දිස්ත්‍රික් මට්ටමෙන් සිදුවන භේදය නැති කර ගැනීමට පුළුවන.
වර්තමාන රජය මේ ආකාරයේ කාර්ය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා මෙම කාර්ය පිළිබඳ අවබෝධයක් ඇති පැරැණි නිලධාරීන්ගේ සහායද ලබා ගැනීමට පුළුවන. එසේ කිරීම මඟින් නව රජයේ සහ අගමැතිනියගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාව ඇතැයි අප විශ්වාස කරමු. ඒ සඳහා සහාය ලබා දීමට විෂය පිළිබඳ ප්රවීණත්වයක් ඇති නිලධාරීන් ලෙස කටයුතු කළ පිරිස්ද සිටිති. ඔවුන් මෙම සේවාව ජාතික මෙහෙවරක් ලෙස ස්වේච්ඡාවෙන් ඉටු කිරීමට වුවද මැළිකමක් නොදක්වති. රජයේ නව ප්‍රතිසංස්කරණ යෝජනා වඩාත් සාර්ථක වන්නේ එවැනි පුළුල් වැඩපිළිවෙළක් මඟිනි.
පාසල් පද්ධතිය තුළ ගුරුවරයාගේ සිට කාර්යාල කාර්ය සහායකයා දක්වා කැපව කටයුතු කළ යුතු අතර විශේෂයෙන්ම පාසල් පද්ධතිය තුළ සිදුවන ප්‍රතිසංස්කරණවලදී විභාග බර අවම කළ හැකි වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. අද විභාග බර ලොකු පීඩාවක් මෙන්ම බරක් බවට පත්ව තිබේ. එහෙත් එය එසේ සිදු නොවිය යුතුය. විභාග දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මේ ආකාරයේ වැඩපිළිවෙළක් පිළිබඳ යම් අකැමැති බවක් පළ කළ හැකි වුවද විභාග බර අවම කිරීම කළ යුතු දෙයකි. එමෙන්ම කඩපාඩම් කිරීමේ ක්රමවේදයද අසාර්ථක ක්රමයකි. සාමාන්‍ය පෙළ බර සියයට පණහකින් අඩු කළ හැකි වැඩපිළිවෙළක් ඇති කළ යුතුය. ගුරු අධ්‍යාපනය තවත් තර කළ යුතුය. ගුරු පුහුණු ක්‍රම වෙනස් කළ යුතුව තිබේ.
තරග විභාග
අපගේ අදහස අනුව පෙළ පොත ද වඩාත් අඩු පිටු ප්‍රමාණයකින් සමස්ත විෂය පද්ධතිය ආවරණය කරන්නක් විය යුතුය. ඒ සියල්ල මඟින් මෙරට අධ්‍යාපන ක්රමයේ අලුත් ප්‍රවේශයක් ගොඩනඟා ගැනීමට හැකියාව තිබේ.
ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ද මේ වන විට ලොකු කතාබහක් ඇතිව තිබේ. ශිෂ්‍යත්වය අත්හිටුවීම පිළිබඳව ද මතයක් සමාජයේ තිබේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතාබහ තුළද ඒ පිළිබඳව කතාබහක් ද තිබේ. ශිෂ්‍යත්වය පිළිබඳව තරගය ඇතිව තිබෙන්නේ පාසල් පද්ධතිය තුළ තිබෙන විෂමතා නිසාය. මෙම විෂමතා දුරැලීමට කටයුතු කළහොත් ඒ සමඟ පාසල් පිළිබඳව ඇතිව තිබෙන මාපිය තරගය ද නවතිනු ඇත. අද විවිධ පාසල් මූලික කරගෙන බල කේන්ද්‍ර ඇතිව තිබේ. එය නුසුදුසු දෙයකි. අවශ්‍ය නම් තරග විභාගයකින් දරුවන් පාසල් වෙත බඳවා ගනු ලබන ක්‍රමයක් ඇති කර ගත හැකිය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා මධ්‍ය විද්‍යාල සංකල්පය ඇති කළේද අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබාදීම සඳහාය. මධ්‍ය විද්‍යාල සහ මහා විද්‍යාල මඟින් වඩාත් සමාන අවස්ථා ලබා දෙන පාසල් පද්ධතියක් ඇති කළ හැකි අතර ඒ ආකාරයේ හොඳ පාසලක් සෑම තැනකම තිබුණහොත් ඇතිව තිබෙන ශිෂ්‍යත්ව තරගය නිමාවට පත් වීම අනිවාර්යෙන්ම සිදුවේ. එමෙන්ම විවිධ හිතවත්කම් මත දරුවන් පාසල් වෙත යොමු කරන ක්රමයද සැමට සමාන අවස්ථා ලබා දෙන පාසල් පද්ධතියක් ශක්තිමත් ලෙස ගොඩනැඟිම මඟින් නැති කළ හැකිය.
අධ්‍යාපනයේ ප්‍රධානම සාධකය බවට පත්ව තිබෙන්නේ ගුරුවරුය. එනිසා ගුරුවරු වෘත්තිකයන් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුය. අද වෛද්‍යවරයකු වීමට අවම සුදුසුකම් ප්‍රමාණයක් තිබේ. ගුරුවරයකු වීමටද එවැනි අවම සුදුසුකම් ප්‍රමාණයක් තිබිය යුතුය. එහිදී ලෝකය පිළිගන්නා අධ්‍යාපනවේදී උපාධියක් තිබීම වඩාත් සුදුසුය. එහෙත් අප රට තුළ එවැනි සුදුසුකමක් සඳහන්ව නැත.
ගුරුවරයා තුළ කුසලතා නොමැති නම් දරුවන් වෙත කුසලතා ඇති කළ නොහැකිය. විද්‍යා පීඨ පාඨමාලා නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය. අනාගතයේ බිහිවන සෑම ගුරුවරයකුම අධ්‍යාපන විශේෂඥයකු බවට පත් කළ යුතුය. එමගින් අපගේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ හැකිය. නව රජය ද තම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරද්දී අප ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ අවධානය යොමු කළ යුතුය. සියලු පාර්ශ්වවල හොඳ යෝජනා එකට ගෙන ක්‍රියාත්මක කිරීම මඟින් වඩාත් ප්‍රතිඵලදායක අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ඇති කර ගැනීමට පුළුවන.