වර්තමානයේ සමාජ, දේශපාලනික කතිකාවේ වඩා ඉහළින්ම සටහන් වන ප්‍රමුඛතම මාතෘකාව බවට පත්ව ඇත්තේ බටලන්දේ සිද්ධියයි. බටලන්දේ සිද්ධිය යනු දශක තුනකට වැඩි කාලයක් පැරණි දේශපාලනික සිදුවීමකි; ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කාලයේ වැලිතලාවෙන් යටව ගොස් තිබූ, මෙරට සමාජ දේශපාලනයේ බරපතළ සංවේදී සිද්ධියකි.
1988-89 කාලපරාසය යනු ලාංකේය ජන සමාජයේ තරුණයන් 60,000කට අධික සංඛ්‍යාවක් නිරපරාදේ මහ මඟ මරා දැමූ, ලේ වැකි ඉතිහාසයක් සහිත කාලපරිච්ඡේදයකි. බටලන්ද යනු එහි එක් තවත් එක් අඳුරුතම සිද්ධියක් පමණකි.
මෙපමණ කලක් සිදු වූයේ බටලන්දේ සිද්ධිය සහ 88-89 තවත් බොහෝ තරුණ ඝාතන බලය ලබා ගැනීමේදී උපකාරි වූ සාධක ලෙස භාවිත කිරීම පමණකි.
මියගිය අයගේ ජීවිතවලට සාධාරණය ඉෂ්ට කිරීම හෝ ඒ ඝාතනවලට ඍජු ලෙස හෝ වක්‍ර ලෙස සම්බන්ධ චුදිතයන්ට දඬුවම් කිරීමක් සිදු නොවිණි. එනම්: මෙපමණ කාලයක් දේශපාලන වේදිකාවේ තොරොම්බල් වූ සිද්ධියක් වර්තමානයේ සමාජ දේශපාලනයේ ප්‍රමුඛතම කතාබහ බවට පත්ව ඇත.
බටලන්දේ සිද්ධිය යළි කතාබහට පැමිණියේ අල් ජසීරා නාළිකාව සමඟ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් සමඟය. එනම්: ලාංකේය දේශපාලනයේ වර්තමාන සමාජ සාකච්ඡාව බටලන්දේ සිට අල් ජසීරා දක්වා හුවමාරු වූ බවක් හඳුනාගත හැකි ය. අපගේ මේ උත්සාහය අල් ජසීරාවේ සිට ඒ සිද්ධිය යළි බටලන්ද දක්වා රැගෙන ඒමට පමණක් නොව, ඒ සඳහා වර්තමාන සමාජ දේශපාලනයේ සාධාරණය ඉටු කරවා ගැනීමට අදාළ පසුබිම සකස් කර ගැනීමට ය; ඉතා සරලව කිවහොත්: ඉතිහාසයේ පැවති අනීතික භාවයකට වර්තමානයේ යුක්තියේ තරාදිය මත තබා සාධාරණත්වය ඉටු කරවා ගැනීමට අවශ්‍ය සමාජ, දේශපාලනික පසුබිම සකස් කිරීමට ය.
බටලන්ද යනු හුදෙක් තනි සිදුවීමක් නොව, පටු බලලෝභි දේශපාලනික අවශ්‍යතා අරබයා තරුණ ප්රජාවකගේ ජීවිත හිතුමතේ බිලි ගැනීමට සහ මරාදැමීමට අදාළ සිදුවීම් ජාලයකි. එය ලේ වැකුණු ඉතිහාසයකින් පිරි සිදුවීම් ජාලයකි.
මියගිය අයට සාධාරණය ඉටු කිරීම වර්තමාන සමාජ පරම්පරාවේ හෘදය සාක්ෂියේ වගකීමක් වන්නේ ය. චුදිතයෝ වසර ගණනාවක් මුළුල්ලේ නිදැල්ලේ සිටිති: එපමණක් නො ව, ඔවුන් බලය අත්කරගෙන අභිමත පරිදි රාජ්‍ය පාලනය ද සිදු කොට තිබේ.
බටලන්දේ සිද්ධිය පිළිබඳ ඉතිහාසය හෝ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ යළි යළි සටහන් කිරීම අපගේ අරමුණ නොවේ. එහෙත් අතීතය අමතක වූ ප්‍රජාවක් සිටී නම්, ඔවුන් වෙනුවෙන් එකී ඉතිහාසය යළි සිහිපත් කළ යුතුව ඇතැයි අපි සිතමු.
1988-89 කාල පරාසයේදී එවකට පැවති රජය විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වූ නීති විරෝධි මිනීමැරුම්, කෲර වධහිංසාවට ලක් කිරීම්, අනීතිකව රඳවා ගැනීම් සහ අතිවිශාල තරුණ ඝාතන සම්බන්ධයෙන් කියවෙන ස්ථානයක් වන්නේ බටලන්ද වධකාගාරයයි. එකී වධකාගාරය පවත්වා ගැනීම සහ ඒ සඳහා අනුබල දීම සම්බන්ධයෙන් එවකට පැවති රජයේ කිහිප දෙනකුට චෝදනා එල්ල විය. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් එකී කරුණු හෙළිදරව් වී තිබේ. අල් ජසීරා නාළිකාවේදී ප්‍රශ්න කෙරුණේ ඒ තත්ත්වයයි.
1994 දී බලයට පත් ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ නමුත්, එය වචනයට පමණක් සීමා වූ කාරණයක් විය. එවකට ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන යම්කිසි මැදිහත්වීමක් සිදු කළ ද ඉන්පසු ඒ පිළිබඳ සාධනීය ක්‍රියාමාර්ග ගත් බවක් ඉතිහාසයේ සඳහන් නොවේ.
දේශපාලනික වුවමනා එපාකම් මත නීති විරෝධී ඝාතන සිදු කළ පොලිස් නිලධාරීන් සිටීනම් ඔවුන්ට දඬුවම් කළ යුතු අතරම ඒ සඳහා දේශපාලනික නායකත්වය සැපයූ අයට ද නීති මඟින් කටයුතු කළ යුතුව ඇත.
දැන් ඇත්තේ ප්‍රමාද වූ කාරණයකට යුක්තිය ඉටු කිරීමේ කාලපරාසයයි. එය පවතින නීතිමය බලව්‍යුහය යටතේ සිදු කළ යුතු කාරණයකි.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව දැන් පාර්ලිමේන්තුව හමුවේ සභාගත කොට තිබේ. දැන් ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය හමුවේ ව්‍යවස්ථාදායකය විසින් ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ කාලපරාසයයි. ප්‍රදර්ශනාත්මක තලයෙන් ඔබ්බට ගොස් මේ කාලපරාසයේදී ජීවිත පූජා කළ, නිකරුණේ මරාදැමුණු තරුණ ප්‍රජාවට කිසියම් ආකාරයක හෝ සාධාරණයක් ඉටු වේවි යැයි යන බලාපොරොත්තුව අප හමුවේ පවතියි. එය මෙතෙක් පැවති සංවාද, සාකච්ඡා හා සම්මන්ත්රණවලින් ඔබ්බට ගිය, ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ සමඟම කාලාන්තරයක් මුළුල්ලේ දේශපාලනික බලඅධිකාරියේ බලහස්තය මත යටගැසුණු නැතිනම් කාලයේ වැලිතලාවෙන් යටව ගිය තවත් මෙවැනි ඝාතන රැසක් පවතින බව අප ඉතා හොඳින් දන්නා කාරණයකි.
ජීවිතය යනු කෙනකු සතු වටිනාම සම්පතයි. එය උදුරා ගැනීමට, තව කෙනකුගේ බලවුවමනාව වෙනුවෙන් ජීවිත අහිමි කිරීමට කිසිවකුට හැකියාවක් නැත. අතීතයේ එවැනි ක්‍රියාකාරකමක නිරත වූ කවරකු හෝ සිටීනම් තරාතිරම නොබලා දඬුවම් කිරීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. එළඹ ඇත්තේ ඒ කාලසීමාවයි.
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ‘හඳ සාක්කි කීම’ නමැති කෙටිකතාවේ සඳහන් වන්නේ එක්තරා කාලයක සිදු කළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට බොහෝ කලකට පසු සාධාරණය ඉටු වීමේ ක්රමවේදයයි; නැතිනම් චුදිතයා නීතියේ රැහැනට කොටු කර ගැනීමේ ආකාරය විස්තර කිරීමකි. බටලන්දේ ඝාතන සිද්ධියට එලෙස සඳ සාක්කි කීම අවශ්‍ය නොවේ; අවශ්‍ය වන්නේ කොමිෂන් සභා වාර්තාවේ පවතින ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීමය.
අතීතයේ සිදු වූ සාවද්‍ය මිනිස් ඝාතනවලට සාධාරණය ඉටු කිරීමේ පසුබිම සකස් කිරීමේ කාලපරාසය පැමිණ ඇතැයි අපි යළිත් වරක් මෙහිලා සටහන් කොට තබමු.
බටලන්දේ සිට අල් ජසීරාව දක්වාත් අල් ජසීරාවේ සිට බටලන්ද දක්වාත් සමාජ දේශපාලනය වර්තමානයේ සිට කියවා ගනිද්දී අපට දැනෙන මනෝභාවය නම් එයයි.
අපි එකී සමාජ සාධාරණත්වය වෙනුවෙන් තවදුරටත් කොන්දේසිවිරහිතව පෙනී සිටිමු.