Home » ඉරාක‍යේ සහ සිරියාවේ “IS” ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

ඉරාක‍යේ සහ සිරියාවේ “IS” ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

by chanaka
March 15, 2025 7:43 pm 0 comment

ඉරාක‍යේ සහ සිරියාවේ “අයි එස්” ත්‍රස්තවාදි නායකයා ඝාතනය කළ බව, අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ඉරාක ජාතික බුද්ධි අංශය සහ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ඔහු ඝාතනයට ලක්වූ බව, ඉරාක අග්‍රාමාත්‍යවරයා ද තහවුරු කර තිබේ.

“අබු කදීජා” ලෙසද හැදින්වෙන ඉරාකයේ සහ සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම හෙවත්, ” අයි එස්” ත්‍රස්තවාදි සංවිධානයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන “අබ්දල්ලා මක්කි මුස්ලි අල් – රුෆායි” ඉකුත් බ්‍රහස්පතින්දා ඉරාකයේ බටහිර “අල් අන්බාර්” පළාතේ සිදු කරන ලද විශේෂ හමුදා මෙහෙයුමකදී ඝාතනයට ලක්වූ බව, එරට අගමැති ” මොහොමඩ් ෂියා අල් – සුඩානි” ප්‍රකාශ කර ඇත.

ඝාතනයට ලක්වූ “අබු කදීජා” ‍ඉරාකයේ සහ ලොව දරුණුතම ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන බව ඉරාක අගමැතිවරයා මෙහිදී කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “අයි එස්” ත්‍රස්තවාදීන්ට ‍එරෙහිව ක්‍රියාකරන එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සහය ඇතිව සිය ආරක්ෂක හමුදාව විසින් සිදුකරන ලද වි‍ශේෂ මෙහෙයුමකදී ඔහු ඝාතනයට ලක් වූ බව ඉරාක අගමැතිවරයා සඳහන් කර තිබේ.

ත්‍රස්තවාදි නායකයාගේ ඝාතනය පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය හමුදාව වෙත ප්‍රසාදය පළ කර තිබේ. “එක්සත් ජනපද මධ්‍යම අණ දෙන බලකාය” කියා සිටියේ, “අබ්දල්ලා මක්කි මුස්ලි අල් – රුෆායි”, අයි එස් ත්‍රස්තවාදි සංවිධානයේ තීරණ ගැනීමේ අංශයෙහි ප්‍රධානියා බවයි. එම සංවිධානය විසින් ගෝලීය වශයෙන් මෙහෙය වන ලද විශේෂ මෙහෙයුම්, සැපයුම් මෙන්ම, සැලසුම් සඳහා ඔහු වගකිවයුතු බවද, එක්සත් ජනපද මධ්‍යම අණ දෙන බලකාය සඳහන් කරයි.

ඔහු “අයි එස් ‍ගෝලීය සංවිධානය” සඳහා මුල්‍යමය වශයෙන් විශාල දායකත්වයක් ද ලබා දී ඇති බව එම බලකාය කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT