Tuesday, March 25, 2025
Home » දුම්වැටි නිෂ්පාදන බදු වැඩි කිරීම ගැන මුදල් අමාත්‍යංශය කරුණු කියයි

දුම්වැටි නිෂ්පාදන බදු වැඩි කිරීම ගැන මුදල් අමාත්‍යංශය කරුණු කියයි

by chanaka
March 14, 2025 2:24 pm 0 comment

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ පනවා ඇති නියමයට අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීමට අදාළ සවිස්තරාත්මක කරුණු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් රජයේ` මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර ඇත.

පසුගිය 11වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළහ.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු වැඩි කිරීම, ඊට අදාළ නිශ්චිත දත්ත නොමැතිව අනුමත කළ නොහැකි බව මීට පෙර පැවති මුදල් කාරක සභා රැස්වීමේදී කාරක සභාව ප්‍රකාශ කළ අතර, ඒ අනුව දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද වැඩි කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාධාරණ දත්ත ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. ඒ අනුව, දුම්වැටිවලින් ලැබෙන නිෂ්පාදන බදු ආදායම පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයන් මගින් මෙම ගණනය කිරීමේ ක්‍රමය, රජයේ ආදායම අඩුවීමට මෙන්ම නිශ්චිත නිෂ්පාදන සමාගම්වල ලාභ වැඩි කිරීමට හේතු වන අයුරු පෙන්නුම් කරන බවත්` කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. එබැවින්, මෙම බදු සංශෝධනය සත්‍ය වශයෙන්ම රජයේ ආදායම වැඩිකිරීමට හේතුවන` බව සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, නිෂ්පාදන බදු වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් පැහැදිලි කිරීම් ලබා ගැනීමෙන් පසුව නැවත සලකා බැලීමට එම රැස්වීමේදී තීරණය කරන ලදී.

ඒ අනුව, කාරක සභාවේදී දීර්ඝ ලෙස සළකා බැලීමෙන් පසු, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නියමයට අදාළ අනුමතිය හිමිවිය.

තවද, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග දෙකක් ද කාරක සභාව විසින්` සලකා බැලූ අතර, ඊට අදාළ අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වන වගන්තිය යටතේ අංක 2417/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති නියෝගය මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 63 ක් සඳහා පවතින අනුපාතවලටම දැනටමත් පනවා ඇති විශේෂ බද්දේ වලංගු කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ රේඛීය අමාත්‍යාංශවලින් නිර්දේශ ලබා ගැනීමෙන් පසු ඉදිරිපත් කර තිබිණි. එසේම 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වන වගන්තිය යටතේ 2421/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති නියමය` රාමසාන් උපවාස කාලය තුළ නොමිලේ බෙදා හැරීම සඳහා ආනයනය කරන ලද රටඉඳි සඳහා බදු සහන ලබා දීමට ඉදිරිපත් කර තිබිණි.

තවද 2024 දෙසැම්බර් 16 වන දින ඉන්දියාවේදී රාජ්‍ය මට්ටමින් අත්සන් කරන ලද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආදායම් බදු සම්බන්ධයෙන් ද්විත්ව බදු පැනවීම වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා රජයන් ද්විත්වය අතර වූ` ගිවිසුමේ 28(6) වගන්තිය සංශෝධනය කරමින් සකසන ලද සන්ධානයද රජයේ` මුදල් පිළිබඳ කාරක සභාව සැලකිල්ලට ගත් අතර ඊට අදාළ` අනුමතිය ලබාදීම සිදු විය.

මෙම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍ය ආරියරත්න, විජේසිරි බස්නායක, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන සහ (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT