Wednesday, April 9, 2025
Home » යුද හමුදාවට එරෙහිව තරග බිමේ
පලඟ ශූරතාව හඹා යන පොලිස් පිල අද

යුද හමුදාවට එරෙහිව තරග බිමේ

by thanushika
March 14, 2025 3:55 pm 0 comment

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතා හඹා යන පොලිස් ක්‍රීඩා සමාජය අද (14) පස්වරුවේ යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් පිටියේදී තරග බිමට එක්වෙයි. පලඟ ශූරතා වටයේ ප්‍රසාද ලකුණු 39ක් ලබා පෙරමුණේ පසුවන සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ සියලු තරග අවසන් බැවින් අද තරගයේදී ප්‍රසාද ලකුණක් සමඟ තරගය ජය ගැනීම ප්‍රසාද ලකුණු 33ක් අත්කර ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන පොලිස් පිලේ අරමුණ වනු ඇත.

මේ අතර පලඟ ශූරතා වටයේ අවසන් ස්ථානවල පසුවන ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය හෙට (15) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. එම තරගය පලඟ ශූරතාව සඳහා තීරණාත්මක නොවූවද ශ්‍රී ලයන්ස් පිල පරාජය කරමින් තරගාවලිය අවසන් කිරිම මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් නොලැබූ නාවික හමුදා පිලේ අරමුණ බවට පත්වනු ඇත.

පසුගිය සති අන්තයේදී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පරාජයට පත්වූ සීආර් පිල සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කුසලාන වටයේ තරගය ද හෙට පස්වරුවේ සීආර් පිටියේදී පැවැත්වෙන අතර, කුසලාන වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවන සීආර් පිල හෝ සිවුවැනි තැන සිටින ගුවන් හමුදා පිල හෝ තරගය ජය ගැනීම එම වටයේ ප්‍රසාද ලකුණු සටහනට බලපෑමක් නොවනු ඇත.

මේ වන විටත් මෙවර ලීග් ශූරයන් බවට පත්වී සිටින මහනුවර ක්‍රීඩා සමාජය සහ අනුශූරයන් බවට පත්වී සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තරගය අනිද්දා (16) පස්වරුවේ නිත්තවෙලදී පැවැත්වීමට නියමිතය. එම තරගයේදී සිය අපරාජිතවභාවය රැක ගනිමින් තරගාවලිය නිමා කිරීම මහනුවර පිලේ අපේක්ෂාව වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT