Home » දොඩන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ 27 වසරක සමාජ සේවාව

දොඩන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ 27 වසරක සමාජ සේවාව

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

දොඩන්ගොඩ සමූහ - කවිඳු සමරවීර

සාමාජිකයන් 18 දෙනෙකුගෙන් 1997 ආරම්භ වූ කළුතර, දොඩන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත ප්‍රජා සංගමය මේ වසරේ තම 27 වන සංවත්සරය සැමරීමට නියමිතය. මේ වන විට සාමාජිකයන් 65ක් පමණ ප්‍රමාණයක් සාමාජිකත්වය දරනු ලබන කළුතර දොඩන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත ප්‍රජා සංගමය තම සාමාජිකයන්ගේ සහ දොඩන්ගොඩ වෙළෙඳ ප්‍රජාවගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම මෙන්ම පොදු මහජනතාවගේ පොදු අවශ්‍යතා හා සහන සේවා කටයුතුද සිදු කරමින් රටේ ආර්ථික, සාමාජීය දියුණුව වෙනුවෙන් මහඟු කාර්යභාරයක් සිදුකරනු ලබයි. 27 වසර පුරා සංගමයක් ලෙස කළ කාර්ය භාරය අතිමහත්ය. දොඩන්ගොඩ අඹගහකුඹුර පැපිලියාවත්ත ප්‍රදේශයේ ජීවත් වීමට නිසියාකාර නි‍ෙවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ජලය, විදුලිය සහිතව මූල්‍ය වටිනාකමින් ලක්ෂ 35ක් පමණ වන නි‍ෙවසක් සකසාදීම හිටපු සභාපති මොහාන් සමරවීර මහතාගේ යෝජනාවකට අනුව විජය නිෂ්පාදන සමූහ ව්‍යාපාරයේ සභාපති අනුර කොතලාවල මහතාගේ සහ සාමාජිකයන්ගේ පූර්ණ දායකත්වය මත සිදු කිරීම සංගමයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදුවිය.

ප්‍රදේශයේ පාසල්, දහම් පාසල්වල අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙත අවශ්‍ය පාසල් උපකරණ බෙදා දීම, පොදු මහජනතාවගේ අභිවෘධිය වෙනුවෙන් දොඩන්ගොඩ වෙළෙඳ සංගමය මඟින් සිදුකරනු ලබන තවත් මහඟු ක්‍රියාදාමයකි.

ඔවුන් මෙම වැඩසටහන සෑම වසරක් පාසාම විජය නිෂ්පාදන සමූහ ව්‍යාපාරයේ සභාපති අනුර කොතලාවල මහතාගේ ලක්ෂ දහයක මූල්‍යාධාර පරිත්‍යාග ඉතුරුම් තැම්පතුවේ වාර්ෂික පොලී මුදලින් සහ සාමාජිකයන්ගේ පරිත්‍යාගයන් මඟින් සිදුකරනු ලබයි.

දොඩන්ගොඩ මංසන්දියේ වාර්ෂිකව ඉදිවෙන තොරණ ඇතුළු වෙසක් කලාපය වාර්ෂිකව පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. සිංහල දමිළ අලුත් අවුරුද්දට කළුතර – දොඩන්ගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි අවුරුදු උත්සව සංවිධානය කිරීම, සංගමයේ ආරම්භයේ පටන් වසර ගණනාවක් පුරාවට වර්ෂ අවසානයේ එළඹෙන වසරට ආශීර්වාද කොට දෙසැම්බර් 31 වැනිදා දොඩන්ගොඩ නගර මධ්‍යයේ පිරිත් දෙසුමක් පැවැත්වීම දොඩන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් කර්තව්‍යන් කිහිපයකි. මෙම අවස්ථාවන් පසුගිය කොවිඩ් වසංගත සමය හමුවේ පැවැත්වීමට නොහැකි වුවද ඉදිරි වර්ෂයන්හිදී නැවත එම අවස්ථාවන් සඳහා සහභාගි වී දැකබලා ගැනීමට ජනතාව වෙත අවස්ථාව සලසාදීමට ඔවුන් බලාපොරොත්තු වේ.

දොඩන්ගොඩ නගරයේ ශෛල්‍යමය බුදු පිළිම වහන්සේ සහ මල් ආසනය සකස් කිරීම ද දොඩන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය මැදිහත්වීමෙන් හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් සිදු කළ පුණ්‍ය කටයුත්තකි. එලෙසම කොවිඩ් වසංගත සමයේ පීඩාවට පත් ගම්වාසීන් වෙනුවෙන් වියළි ආහාර, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහ මූල්‍යාධාර ලබාදීම, ගංවතුර වැනි ස්වභාවික ආපදා අවස්ථාවලදී අවතැන් වන ප්‍රදේශයේ ජනතාව වෙත අවශ්‍ය ආධාර උපකාර කිරීම දොඩන්ගොඩ ප්‍රාදේශීය රෝහල වෙත සහ කළුතර දිස්ත්‍රික් ජාතික රෝහල (නාගොඩ රෝහල) වෙත අවශ්‍ය අක්ෂි උපකරණ ලබාදීම, දොඩන්ගොඩ වෙ‍ෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය විසින් 27 වසරක් පුරා සිදු කරමින් සිටින තවත් සත් ක්‍රියාවන් කිහිපයකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT