ලොකු, කුඩා වැව් දහස් ගණනක් ඇති අනුරාධපුරය, කෘෂිකර්මාන්තයට මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය සඳහා ද ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි. මිරිදිය ධීවර කර්මාන්තය මඟින් මෙම කලාපයේ දහසක් දෙනා ජීවනෝපාය සරිකරති. මසුන් සහ වැව් කරවල අලෙවියෙන් ඔවුහු සිය දරු පවුල් රකිති. එහෙත් වැව් කරවල නිෂ්පාදනය සඳහා නිසි උපකාරයක් නොලැබෙන බව කලාවැව, රාජාංගණය ආදී වැව් ආශ්‍රිතව රැකියාවේ නියුතු ධීවරයෝ පවසති. අලෙවිය පහත වැටීමෙන් සිය ජීවනෝපාය ද බිඳවැටී ඇති බව එම ප්‍රදේශ ආශ්‍රිතව කරවල වෙළෙඳාමේ නියැළෙන වෙළෙන්දෝ පවසති.
අනුරාධපුරයේ වැව් දහස් ගණනක් තිබුණ ද කල්මුණේ, අම්පාර වැනි දුරබැහැර ප්‍රදේශ වෙත ගොස් වැව් කරවල ගෙන ඒමට සිදුව ඇති බව වෙළෙන්දෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් විශාල ප්‍රවාහන වියදමක් දැරීමට සිදුව ඇති බවත් එහෙයින් කරවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බවත් වෙළෙන්දෝ පවසති. මිල වැඩිවීම හේතුවෙන් කරවල මිලදී ගැනීමට පැමිණෙන බොහෝදෙනෙකු මිල ගණන් අසා ආපසු හැරීයන බව ඔවුහු පැවසූහ. තලාව, ඒරියාගම ප්‍රදේශයේ වැව් කරවල වෙළෙදාමේ යෙදෙන “කේ. සීලවතී” මහත්මිය මෙසේ පැවසුවාය.
“ගොඩක් අය ඉල්ලන්නේ තෙප්පිලි කරවල. සමහරු ලූල් කරවල ඉල්ලනවා. ඒ කරවල දැන් හොයාගන්ඩ අමාරුයි. හොයා ගත්තත් මිල
වැඩියි. ගොඩක් වේලාවට එන්නේ ලේල්ලු, කැට්ලෝ වගේ මාළුන්ගෙන් හදන කරවල. මේ පැත්තේ කොයි තරං වැව් තිබ්බත් වැව් කරවල හදන්නේ හරි අඩුවෙන්. මේ හින්දම මිල හරි වැඩියි..”
මාළු පිරිසුදු කොට, ලුණු දමා දින කිහිපයක් අව්වේ වියළා ලුණු කරවල සකසන බවත් දින දෙකක් පමණ මඳ ගින්නේ වියළා දුම් කරවල සකස් කරන බවත් ධීවරයෝ පවසති. සකස් කළ දුම් කරවල කිලෝවක් රුපියල් 3500 ත් 4000 ත් අතර මිලකට අලෙවි වන බවත් ලුණු කරවල කිලෝවක් රුපියල් 2500 ක් පමණ වන බවත් ඔවුහු පවසති. ලේල්ලු, තෙප්පිලි, කැට්ලා, ලූලා, ආඳා ආදී මසුන් මෙසේ කරවල ලෙස වියළා සකස් කෙරෙන බව ධීවරයෝ පෙන්වා දෙති. රාජාංගණය වැව ආශ්‍රිතව වසර ගණනාවක් තිස්සේ ධීවර කර්මාන්තයේ නියැළෙන සුනිල් ගාමිණි මහතා මෙසේ පැවසුවේය.
“මාළු කිලෝ පහක් විතර ඕන එක කරවල කිලෝ එකක් හදාගන්ඩ. දුම් කරවල හදන්ඩ දවස් දෙකක් විතර දුම් කාගෙන පුදුම දුකක් විඳින්ඩ ඕන. කරවල ගන්ඩ එන අය ඒ ගැන දන්නේ නෑනේ. ඒගොල්ලෝ ගණන් අහලා ආපහු හැරිලා යනවා. අපේ මහන්සියට හරියන ගාණකට විකුණගන්ඩ පුළුවන් කියන විශ්වාසයක් නැතිව කොහොමද අපි කරවල හදන්නේ. විඳින දුකත් එක්ක බලනකොට අතේ පාඩුවට කරවල හදලා වැඩක් නෑනේ. ඒ හින්දම එදිනෙදා අහුවෙන මාළු ටික විකුණලා දානවා.”
මුහුදු කරවල මිලට සාපේක්ෂව වැව් කරවල බොහෝවිට මිල අධික වීම එහි අලෙවිය පහත බැසීමට හේතුවී ඇති බව ධීවරයෝ පෙන්වා දෙති. අධික වෙහෙසක් සහ නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ඉහළ මිලකට වැව් කරවල අලෙවි කිරීමට සිදුව ඇති බව ද ධීවරයෝ පවසති.
මෙම පසුබිම තුළ නෙළාගත් දිනම අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ඉතිරි වන මසුන්ගෙන් පමණක් කරවල නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව ඔවුහු සඳහන් කරති.
රාජාංගණයේ තවත් පළපුරුදු ධීවර කාර්මිකයකු වන හැත්තෑ එක් වියැති ෂෙල්ටන් පුනාන්දු මහතා කරවල නිෂ්පාදනයට බලපා ඇති දුෂ්කරතා පිළිබඳව මෙසේ කරුණු කීවේය.
“ඇත්තටම අපි දුක් විඳලා කරවල හැදුවත් ඒකෙන් වැඩිම ලාභේ ගන්නේ වෙළෙන්දෝ. ඒත් ඒ අය වැඩිම ලාභේ ගන්න එකයි ප්‍රශ්නේ. අනිත් එක අපිට සාධාරණ මිලක් නැතිව කරවල හදන්ඩ කාගෙවත් උනන්දුවක් නෑ. අල්ලගත්ත මාළු ටික එවෙලෙම දීලා කීයක් හරි ගන්න එක ලාභයි. විකුණගන්ඩ බැරිව ඉතුරු වුණොත් තමයි කරවල වේළන්ඩ බලන්නේ. අපි එදිනෙදා ආදායමෙන් ජීවත්වෙන මිනිස්සු. දුක් විඳලා කරවල වේළලා සතියක් හමාරක් ගෙදර තියන් ඉඳලා සාධාරණ මිලකට විකුණගන්ඩ බැරිවුණොත් කොහොමද අපි ජීවත් වෙන්නේ. කවුරුහරි මැදිහත්වෙලා කාටත් සාධාරණයක් වෙන වැඩපිළිවෙළක් හැදුවොත් අපිත් කැමැතියි කරවල හදන්ඩ. අපි පවුල් පිටින් දුක් විඳලා මේ රස්සාව කරන්නේ”
මිල අධික වීම හේතුවෙන් සිල්ලර කඩ වෙළෙඳුන් වැව් කරවල අලෙවියට උනන්දු නොවන බව මෙම ධීවරයෝ පවසති. වැව් කරවල වෙළෙන්දෝ බොහෝවිට ප්‍රධාන මාර්ගයන්ට යාබදව කුඩා තාවකාලික වෙළෙඳසල් තුළ වැව් කරවල වෙළෙදාමේ යෙදී සිටිති. මෙසේ තලාව ප්‍රදේශයේ කලක සිට වැව් කරවල වෙළෙඳාමේ යෙදෙන හැත්තෑ දෙහැවිරිදි කේ.ඒ. කරුණාපාල මහතා මෙසේ පැවසීය.
“අපෙන් ගොඩක් වේලාවට කරවල ගන්නේ මෙහෙට පිට පළාත්වල ඉඳලා එන කට්ටිය. මෙච්චර වැව් තියෙන පැත්තක මිනිස්සු වැව් කරවල කන්ඩ උනන්දුවක් නෑ. සතියේ දවස්වලට නම් වෙළෙඳාමක් ඇත්තේම නෑ. සති අන්තෙට පොඩි වෙළෙඳාමක් තියෙනවා. ඒත් උදේ ඉඳන් රෑ වෙනකන් ඉඳලා කරවල කිලෝ එකක් දෙකක් තමයි විකුණගන්නේ. අපි ගොඩක් දුර ගිහිල්ලා මේ කරවල අරන් එන හින්දා අඩුවට දෙන්ඩ බෑ. ටිකක් මිල වැඩියි තමයි. ඒත් අපිටත් මේ වෙළෙඳාමෙන් ලොකු ලාභයක් නෑ. මෙහෙං කරවල ගන්ඩ තිබ්බ නම් ටිකක් හරි අඩුවට දෙන්ඩ තිබ්බා.”
අනුරාධපුර දිස්ත්‍රික් ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ සී.කේ. සපුමොහොට්ටි මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ බොහෝවිට නෙළාගනු ලබන මාළු අස්වැන්න ඒ මොහොතේම අලෙවි කෙරෙන බැවින් අනුරාධපුරයේ බොහෝ වැව් ආශ්‍රිතව කරවල නිෂ්පාදනය ඉතා අවම මට්ටමක පවතින බවයි.