Home » චූටි කෝටුව

චූටි කෝටුව

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

කැබිතිගොල්ලෑව විශේෂ - හේමන්ත රණසූරිය

ඔහු කපටි කෛරාටික තැනැත්තෙක් බව ගම් පළාතේ බොහෝ දෙනෙක් දනිති. එහෙත් ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකි. තමන්ගේ වාසිය වෙනුවෙන් බෙල්ල පසෙකට ඇල කර, කට, කන් දෙපැත්තේ ගෑවෙන තරමටම දත් තිස් දෙකම පෙන්වා බයාදු ලෙස සිනාසීම ඔහුගේ පුරුද්දය.

එක දවසක් ඔහු ගම් ප්‍රදේශයේ වෙළෙඳසලකට ගොස් දවස් දෙක තුනකින් දෙන්නම් කියා පොරොන්දු වී නි‍ෙවසට බඩු තොගයක් අරන් ගියත්, ඒ පොරොන්දු වූ දිනට තබා වෙනත් දිනයකවත් එම මුදල් මේ දක්වා ඔහු වෙළෙඳසලට ගෙවා නැත. හරියටම මේ වනවිට මාස තුන හතරක් ණය මුදලට කල්ගතවී ඇත.

වෙළෙඳසලට සමාජ සේවකයා රුපියල් තිස් දහසකට වැඩි මුදලක් අහවල් දිනේට දෙන්නම් කියා පොරොන්දු පිට බඩු රැගෙන ගියත්, එම මුදල තවමත් කඩේට ගෙවා නැති හේතුව නිසා කඩේ මුදලාලි ඔහු සමඟ සිටියේ පුපුරු ගහන කේන්තියෙනි.

කඩේට ගෙවීමට තිබෙන ණය මුදල්වලට ගමේ ගොඩේ කවුරුත් පවසන්නේ Òපොල්ලක් තිබ්බාÓ කියාය. දිනක් මේ කපටි ණයකාරයා, ඔහුගේ කට කන් දෙපැත්තේ ගෑවෙන සේ පළල් සිනාවක් කටේ අලවාගෙන කඩේට ගොඩවිය.

Òමගේ පරණ ණය මුදල ගෙවන්න වගේ ඇවිත් තියෙන්නේÓ යනුවෙන් සිතූ මුදලාලි ද ඔහුට සිනහවකින් සංග්‍රහ කර, වාඩිවීමට අසල තිබූ පුටුව පෙන්වීය. ණයකරුවා කටහඬ අවදි කළේය.

Òමුදලාලි, ණය මුදල ගෙවන්න ටිකක් කල්ගියා. ඒකට මට සමාවෙන්න. මගේ ණය මුදල මුදලාලිගේ කඩේට ලොකු Òපොල්ලක්Ó කියලා හිතන්න එපා. මම ඒක ගෙවලා දමනවා. මම අද ආවේ, ඒ පොල්ල ළඟින්ම තව Òචූටි කෝටුවක්Ó ගහගන්න පුළුවන් ද කියලා බලන්න. මම ඒ දෙකම එකවර ගෙවලා දානවා. අම්මපා මුදලාලි සත්තයි.Ó

මෙය ඇසූ මුදලාලිට යක්ෂයා ආරූඪ විය. කෝපය ආවේය. වෙළෙඳසලේ බවලත් උදවිය සහ කුඩා දරු දැරියෝ කිහිපදෙනෙක් ද සිටි වග ඔහුට අමතක විය. මුදලාලි සුද්ද සිංහලෙන් පරුෂ වදනින් ණයකරුවාගේ මවගේ ද නම කියමින්, කොස්සක් අතට අරගෙන ණයකරුවා කඩෙන් එළියට ඇද දමා කොස්සෙන් පහර කිහිපයක් ගැසුවේය. ණයකරුවා කොසු පාර කාගෙනම එතැනින් වාෂ්ප විය.

මේ සිද්ධියෙන් පසුව ප්‍රදේශයේ සියලු දෙනාම ණයකරුවා දකින විට Òමිනිහා අංගිලපු අයියෙක්Ó යැයි කියනවා පමණක් නොව, හදිසියකට පැනඩෝල් පෙත්තක් ගන්නවත් දැන් ඔහුට කඩේකට ගොඩවෙන්න බැරි තත්ත්වයක් උදාවී ඇති බව දැන ගැනීමට තිබේ. සමාජ සේවකයා ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටන්ට හමුවන විට ඔවුන් ඔහුට චූටි කෝටුවක් පෙන්වන බව ද දැනගන්න තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT