Home » බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරි වෙඩි තබා ඝාතනය කරයි

බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරි වෙඩි තබා ඝාතනය කරයි

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීරසිංහ/ බුද්ධිකා ඉඹුලාන / දකුණු පළාත් සංචාරක / ගාල්ල දිසා සමූහ / හික්කඩුව සමූහ / අක්මීමන විශේෂ

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී ඒ. ඩබ්ලිව්. සිරිදත් ධම්මික මහතාට ඊයේ (13) සවස වෙඩි තබා ඝාතනය කර ඇත.

ගාල්ල අක්මීමන තලගහ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර තිබේ.

බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී ඔහු බන්ධනාගාර සේවයෙන් විශ්‍රාම ගෙන ඇත්තේ පසුගිය වසරේ මාර්තු මාසයේදී බව සඳහන්ය.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සලක් ආරම්භ කර ඇති අතර, එම ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයටද කිසියම් අයෙක් විසින් ගිනි තබා තිබුණි.

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා මිදුල අතුගාමින් සිටියදී ඔහු අසලට පැමිණි වෙඩික්කරු කටට වෙඩි තබා පලාගොස් ඇතැයි විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ ඇති බවත් ඔහුගේ සහයට තවත් අයෙක් පැමිණ ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

වෙඩිල්ල තබා ඇත්තේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයාගේ මුව ප්‍රදේශයටය.

වයස අවුරුදු 61ක් වන ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්ය.

බන්ධනාගාර සේවා කාලය තුළ මෙම නිලධාරියා ගැන එතරම් යහපත් ප්‍රතිචාරයක් බන්ධනාගාරය තුළ මෙන්ම පිටත සමාජය තුළද තිබී නැත. ඔහුගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් පාතාල අපරාධකරුවන්ගේ තර්ජනයන්ට නිරන්තරයෙන් ලක්ව සිට ඇත. මෙම ඝාතනය සිදුව ඇත්තේද ඔහු සේවා කාලය තුළ සිදු කළ යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා විය හැකි බව පොලීසිය සැක කරයි.

මෙම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 04ක් යොදා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT