Friday, March 28, 2025
Home » චූදිත හිමිනමගේ ඩුබායි පෙම්වතිය ලංකාවට එද්දී අල්ලයි
නැදගමුවේ මහානාම හිමි ඝාතනය:

චූදිත හිමිනමගේ ඩුබායි පෙම්වතිය ලංකාවට එද්දී අල්ලයි

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීරසිංහ සහ බණ්ඩාරගම සමූහ බිමල් ජයසිංහ

සීදූව වෑත්තෑව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි නැදගමුවේ මහානාම හිමියන්ව 2022 වසරේ සැප්තැම්බර් 14 වැනිදා ඝාතනය කිරීමට උන්වහන්සේගේ ගෝල හිමියන්ව මෙහෙයවූ බව කියන සැකකාර තරුණිය ඩුබායි සිට පෙරේදා (12) රාත්‍රී කාලයේ මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට භාර දී ඇත.

මිනුවන්ගොඩ හීනටියන පදිංචිකාරියක් වන 24 හැවිරිදි ඇය ඝාතනයට ලක්වූ විහාරාධිපති හිමියන්ගේ ගෝල හිමියන් සමඟ මුහුණුපොත ඔස්සේ පෙම් සම්බන්ධයක් ඇතිකරගෙන සිට ඇති බවත් ඒ වන විටත් ඇය සිට ඇත්තේ ඩුබායිහි බවත් එකල පැවති පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබුණි.

විහාරාධිපති හිමියන් සතු දේපළ අත්පත් කර ගැනීමට උන්වහන්සේව ඝාතනය කරවීමට ඩුබායි සිට ගෝල හිමියන්ව ඇය විසින් මෙහෙයවා ඇති බව ද එකල අනාවරණය විය.

විහාරාධිපති හිමියන් මරා දමා ඩුබායි බලා යෑමේ අපේක්ෂාවෙන් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගෝල හිමියන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ සඳහා ඔහුට ඩුබායිහි රැඳී සිටි සැකකාර තරුණියගේ හාම්පුතා බව සඳහන් පුද්ගලයාගෙන්ද සහාය ලැබී තිබී ඇතැයි එකල කියැවිණි. හාම්පුතා ද ශ්‍රී ලංකිකයෙක් වූ බැවින් තරුණියත් එම හාම්පුතාත් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරගැනීමට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස් ප්‍රධානීහු එකල සඳහන් කරනු ලැබූහ.

එහෙත් මෙම තරුණිය ගුවන්තොටුපොළේදී පෙරේදා (12) අත්අඩංගුවට ගන්නා තුරුම ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදනයක් ලබාගැනීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

මෙම සැකකාර තරුණියට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ගුවන්තොටුපොළේදී ඇය මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමෙන් අනතුරුව උන්වහන්සේට අයත් මුදල්වලට අමතරව ඩිෆෙන්ඩරයක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක්ද ගෝල හිමියන් විසින් විකුණා තිබුණි. ඩිෆෙන්ඩරය රුපියල් ලක්ෂ 157කටත් වැගන් ආර් රථය රුපියල් ලක්ෂ 52කටත් අලෙවි කර තිබුණි. එම මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි වෙත යවා තිබුණු බවත් එම මුදල් සැකකාරියගේ හාම්පුතා වෙත ලැබෙන ලෙස උණ්ඩියල් කර තිබුණු බවත් විමර්ශනවලින් එකල අනාවරණය විය.

විහාරාධිපති හිමි ඝාතනයට සැකපිට සීදූව පොලීසිය විසින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අතර ගෝල හිමියන්ද පෙරේදා ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් සැකකාරියගේ මවත් මවගේ අනියම් සැමියාත් සිටියහ.

ඝාතනය වූ විහාරාධිපති හිමියන් ජපානයේ රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමේත් වාහන අලෙවි කිරීමේත් ව්‍යාපාරයකට සම්බන්ධව සිට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT