මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාලයේ අපරාධකරුවෙක් වන පූකුඩි කන්නාගේ සහෝදරයා ඉන්දියාවේ සිට ඩුබායි බලා යෑමට සූදානම් වූ අවස්ථාවේදී චෙන්නායි ගුවන්තොටුපොළේදී ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අල්ලා බුද්ධි මෙහෙයුමකින් අනතුරුව මෙරටට එවා තිබේ.
දින කිහිපයක් එරට රඳවාගෙන සිටීමෙන් අනතුරුව ඔහුව ගුවන් මඟින් මෙරටට එවනු ලබන්නේ ඊයේ (13) අලුයම් කාලයේදීය.
ගුවන්තොටුපොළේදී මෙම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින්
අත්අඩංගුවට ගැනීමටද කටයුතු යොදා තිබුණි. පූකුඩි කන්නාගේ සහෝදරයාට මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩු රැසක් අධිකරණයේ ඇත. එම නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තුද නිකුත් කර තිබී ඇත.
පාතාලයේ ගැටුම් හේතුවෙන් පූකුඩි කන්නා මෙරටින් ඉන්දියාවට පලා යාමෙන් අනතුරුව ඔහුගේ සහෝදරයා වන මෙම සැකකරු ගුවන් මඟින් ඉන්දියාවට ගොස් සහෝදරයාගේ රැකවරණය මත සිට ඇත.
2015 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකදී කිඹුලාඇළ ගුණා ඇතුළු මෙරට පාතාලයේ පිරිසක් අත්අඩංගුවට ගන්නා විට පූකුඩි කන්නාද ඒ අතර සිටියේය. එම අත්අඩංගුවට ගැනීමත් සමඟ බියට පත්වූ පූකුඩි කන්නාගේ සහෝදරයා බෝට්ටුවක නැඟී ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සැඟවී කෙටි කාලයක් රැඳී සිට ඇත. අනතුරුව ඔහු ව්‍යාජ නමකින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරගෙන ගුවන් මඟින් ඉන්දියාවට ගොස් ඇත.
පාකිස්තානය සමඟ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවන් නිසා ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන හේතුවෙන් ඉන්දියානු බුද්ධි අංශ මේ වන විට සිය බුද්ධි මෙහෙයුම් දැඩිකර තිබෙන බව සඳහන්ය.
ඉන්දියාවට පලාගොස් සිටින ශ්‍රී ලාංකීය අපරාධකරුවන් රැසක් පසුගිය කාලයේදී අත්අඩංගුවට ගැනෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලංකීය සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්යාංශය සමඟ ඉන්දීය බුද්ධි අංශයට සම්බන්ධ මෙරට නියෝජිතයෙක් සම්බන්ධ වෙමින් මෙරටට එවීමට කටයුතු කරන බව සඳහන්ය.
පූකුඩි කන්නාගේ සහෝදරයාද එම බුද්ධි මෙහෙයුමට හසුවී අත්තේ පසුගිය සතියේදීය. බුද්ධි අංශ ඔහුව නිරීක්ෂණය කරමින් සිටියදී ඩුබායි වෙත යාමට උත්සාහ දරා ඇත. එහිදී බුද්ධි අංශ විසින් ඔහුව කොටුකර මෙරටට එවීමට පියවර ගෙන තිබේ.