සහල් තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සහල් සඳහා නිකුත් කර ඇති මිල ගණන් වෙනස්කර ඇති බවට සිල්ලර වෙෙළඳුන්ට ප්‍රකාශ කරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම සඳහා සමහර වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු ලැබෙමින් පවතී. ඒ බව පෙන්වාදෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ඒ අනුව සහල් පාලන මිල ඉවත්කර තිබේද? යන්න සම්බන්ධව සිල්ලර වෙළෙඳුන් විසින් අවස්ථා ගණනාවකදීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීම් සිදුකර ඇති බවද සඳහන් කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ සහල් සඳහා ගැසට් මඟින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බවත්, කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00ක්, ද නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00ක් වන බවයි.
සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00ක් විය යුතු බවයි. එම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන බවත් මාධ්‍ය නිවේදනය තුළ සඳහන් වේ.
ඒ අනුව මෙම වසරේ මාර්තු 12 වැනි දින දක්වා වෙළෙඳසල් 5500කට වැඩි ප්‍රමාණයක විමර්ශන සිදුකර ඇත. එහිදී වැරදි කරන ලද වෙළෙඳුන් 4070ක් සඳහා නීතිමය පියවර ගෙන ඇත. එම වැරදි කරන ලද වෙළෙඳුන් අතරින් සහල් සම්බන්ධව වෙළෙඳුන් 1555කට නීතිමය පියවර ගැනීමට කටයුතුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 462ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 1004ක් මෙන්ම සහල් සඟවා තබන ලද සහ විකිණීම ප්‍රතික්ෂේප කරන ලද වෙළෙඳුන් 89ක් ද ඒ අතර වේ.
මෙම වසරේ මාර්තු 12 දින දක්වා වෙළෙඳුන් 4122ක් සඳහා නඩු පැවරීම් සිදුකර ඇත. ඒ සඳහා අධිකරණ මඟින් නියමකර ඇති දඩ මුදල රුපියල් මිලියන 61ක් බවත් දැනුම් දෙයි.
පෙරේදා (12) දිනයේදී ද දිවයින පුරා වෙළෙඳුසල් 139ක සිදුකරන ලද විමර්ශනවලදී සහල් වැඩි මිලට අලෙවි කළ වත්තල, මතුගම, පාදුක්ක, පිටකොටුව සහ මාවනැල්ල ප්‍රදේශවල වෙළෙඳුන් 10ක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳුන් 24ක්, සහල් සඟවා තබන ලද වෙළෙඳුන් ඇතුළු ව්‍යාපාරිකයන් 101කට පමණ නීතිමය පියවර ගෙන ඇත.
කීරි සම්බා සහ සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් තවදුරටත් දිවයින පුරා අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව මාධ්‍ය නිවේදනය මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.