Home » ජනපති-සරසවි ඇදුරන් හමුවී…

ජනපති-සරසවි ඇදුරන් හමුවී…

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

උපාලි කරුණාරත්න

සියලු වෘත්තිකයන්ගේ ගැටලු පිළිබඳව රජයට මනා අවබෝධයක් ඇති බවත්, ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරමින් සියලු දෙනාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) සමඟ පැවති හමුවකදීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව ඊයේ (13) පෙරවරුවේ පැවත්විණි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත්ව ඇති බැවින් එහි නිර්දේශ සහ පරාමිතීන්ට අනුව කටයුතු කිරීමට රජයට සිදුව ඇති බව ද, ඒ අනුව වියදම් සීමාවන්ට යටත්ව ප්‍රමුඛතා හඳුනා ගනිමින් මෙවර අය-වැය යෝජනා සකස් කර තිබේ. අධ්‍යාපනයට සහ සෞඛ්‍යට ප්‍රමුඛත්වය දී ඇති බවත්, මෙම අසීරු තත්ත්වය යටතේදී පවා රාජ්‍ය සේවයේ විශාලතම මූලික වැටුප් වැඩි වීම මෙවර අය-වැයේදී සිදු කර ඇති බවත් මෙම සාකච්ඡාවේදී සඳහන් විය. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහත්ම මහත්මීන් සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න, ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත. බී. ඉලංගසිංහ මහත්වරු ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT