Monday, April 21, 2025
Home » බෙදුම්වාදීන් පැහැරගත් දුම්රිය මුදා ගැනීමේ මෙහෙයුම අවසන්

බෙදුම්වාදීන් පැහැරගත් දුම්රිය මුදා ගැනීමේ මෙහෙයුම අවසන්

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

මගීහු 25ක් මරුට

300ක් බේරා ගත් බව ආරක්ෂක අංශ කියයි

දෙදිනක් පුරා සිදු වූ වෙඩි හුවමාරුවකින් පසුව බලුකිස්තාන බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගනු ලැබූ දුම්රිය මුදා ගැනීමට පාකිස්තාන හමුදාව සමත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් හමුදාව සහ පොලිසිය ද ඒකාබද්ධව සිදුකළ එම මෙහෙයුම සාර්ථකව අවසන් වූ බවත්, බෙදුම්වාදීන් විසින් ප්‍රාණ ඇපැයට ගනු ලැබූ මගීහු 300කට අධික පිරිසක් මුදා ගැනීමට හැකි වූ බවත් ආරක්ෂක අංශ සඳහන් කළ බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තානයේ මහජන සම්බන්ධතා අන්තර් සේවා හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් සහ එරට සන්නිවේදන අමාත්‍ය අටාත තරාර් වෙන් වෙන් වශයෙන් නිවේදන නිකුත් කරමින් මෙහෙයුම නිමාවට පත්වූ බව ප්‍රකාශ කර ඇති අතර, ආරක්ෂක අංශ සමඟ පැවති වෙඩි හුවමාරුවේදී බලුකිස්තාන බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් 33 දෙනකු ඝාතනයට ලක්වූ බව සඳහන් කර ඇතැයි ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. දුම්රියේ සිටි මගීහු 21 දෙනෙක් සහ හමුදා සාමාජිකයන් සිවුදෙනකු බෙදුම්වාදීන් අතින් ඝාතනය වී ඇති බවත්, සෙසු මගීහු මෙහෙයුමට පෙර බෙදුම්වාදීන්ගෙන් මිදී පලා යෑමට සමත්වූ බවත් එම නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ. කෙසේ වුවද ඝාතනයට ලක්වූ සහ පලා ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳ නිවැරැදි තොරතුරු තහවුරු වී නැති අතර, බෙදුම්වාදින්ගෙන් මිදී පලා ගිය පුද්ගලයන් සොයා ආරක්ෂක අංශ ඒ අවට කඳුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් බලුකිස්තාන බෙදුම්වාදින් ප්‍රකාශ කර ඇත්තේ පැහැරගත් දුම්රියේ සිටි පාකිස්තාන හමුදා සෙබළුන් 50 දෙනකු ඝාතනය කළ බවය. එහි සිටි තවත් හමුදා සෙබළුන් 200කට වැඩි පිරිසක් බෙදුම්වාදින් පැහැරගෙන ගොස් ඇතැයි ද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා නුවර සිට කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ පේෂාවර් නුවර දක්වා ධාවනය වූ මැදිරි 9කින් සමන්විත ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය පසුගියදා බෝලාන් දිස්ත්‍රික්කයේ උමං මාර්ගයක් අසලදී පැහැර ගැනීමට ලක්වූ අතර, ඒ වනවිට දුම්රියේ සිටි මගීහු 500කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපැයට ගත් බව වාර්තා විය. පාකිස්තාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බලුකිස්තාන දේශපාලන සිරකරුවන් නිදහස් නොකරන්නේ නම් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට ද බෙදුම්වාදින් තර්ජනය කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT