ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග වියතාණන්ගේ ‘මහා සිංහල ශබ්ද කෝෂයෙහි’ ඇති පරිදි ‘නසරානි’ යනු කාටත් යටහත් පහත්කම් දක්වන නිවටකමයි. ‘දුර්වල’, ‘පහත්’ යන තේරුම් ද එහි වේ. නසරානියා කාටත් හිස පාත් කරන්නෙකි. සිනමාකරුවා නිෂ්පාදකවරුන්ට යටහත් පහත්වන්නකු නොවේ. නළුවකුට හෝ නිළියකට හිස පාත් කරන්නකු ද නොවේ.
මෙම නිර්මාණයට විෂය වූ සත්‍ය චරිත හා සැබෑ සිද්ධි හමුවේ නිර්මාණකරුවා යටහත් පහත්කම් දක්වයි. ඒ බව මේ නිර්මාණකරුවාගේ නිදහසට කරුණු දැක්වීම්වලින්ම ගම්‍ය වෙයි. සත්‍ය චරිත පහත්කොට දක්වමින් සිනමාකරුවා දක්වන දුර්වලතා චිත්‍රපටයේ දුටහැකිය. එම දුර්වලතා මෙහි ඇති සිනමාත්මක ස්වරූප යටපත් කරමින් ප්‍රදර්ශනාත්මක වෙයි. සැබෑ චරිත පහතට හෙළමින් සිනමාකරුවා එම දැවැන්ත චරිත හමුවේ යටහත් පහත් වන බව පෙනේ. එකී සත්‍ය චරිත සමඟ සමීපව ඇසුරු කළ අය ද මේ බව පවසයි. රාණි යනු පහත්කම් හා නිවටකම් පානා දුර්වල නිර්මාණයකැයි අප අනුමාන කරන්නේ එබැවිනි. සත්‍ය චරිත පහතට හෙළීමේ හඳගමගේ මේ ඇබ්බැහිකම මීට පෙර ද ඔහු තම චිත්‍රපටවලින් ප්‍රදර්ශනය කර ඇත.
චිත්‍රපටය ‘ඇතුළත’ සහ ‘පිටත’ යනුවෙන් මෙහි චිත්‍රපට දෙකකි. චිත්‍රපටයෙන් පිටත මවා පෑ රාණි දෙස බලා අප දකින්නේ චිත්‍රපටයක් නොව අදෘශ්‍ය ව්‍යාපෘතියකි. මෙම චිත්‍රපටයේ සිනමාත්මක ඇතුළාන්තය පිටත රාණි ගිලදමයි. කොස්ගස් හන්දියේ ස්වර්ණාට කුරුඳුවත්තේ මනෝරාණිගේ සාරිය සහ මොට්ටුව යසට ගැළපී තිබේ. ඉන් ඔබ්බට ගොස් ඇගේ චිත්ත සංකීර්ණය දශක 3ක් සිහින මැවූ නිළිය හෝ තෙමසකින් පිටපත ලියූ සිනමාකරු හෝ අධ්‍යයනය කර නැත. මෙහි පිටපත දුර්වල වන්නේ එබැවිනි. එවිට මෙහි අප හඳුනාගන්නා ප්‍රශස්ත කැමරාකරණය හා කාලෝචිත වර්ණ ගැළපීම, බාහිර ස්වරූප අභිභවන විශිෂ්ට රංගනය, කාල ගළපන සුභාවිත සංස්කරණය, නාමාවලි අග රඳවන මනරම් ගායනය හා අර්ථවත් ශ්‍රව්‍යමය යෙදුම් හුදෙකලා ඇමිණුම් වී නිමැවුම හා සංයුක්ත නොවෙයි.
‘රාණි’ බයෝපික් චිත්‍රපටයකි. ‘බයෝපික් ෆිල්ම්’ යනු යනු සැබෑ පුද්ගලයකුගේ ජීවිතය සිනමා මාධ්‍යය තුළ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමකි. ඉතිහාසමය වැදගත්කමකින් යුත් චරිතයක් සිය සැබෑ නමින්ම ඉදිරිපත් කිරීම එහි විශේෂත්වයයි. රජකු, දේශපාලන නායකයකු, සුප්‍රකට කලාකරුවකු මෙම බයෝපික් සිනමාවට වස්තුබීජ කර ගැනේ. ‘බයෝපික්’ යන වදන නැඟෙනුයේ ‘බයෝග්‍රැපිකල් පික්චර්’ යන අර්ථය සංක්ෂිප්ත වීමෙනි. මෙය සිංහල බසින් චරිතාපදාන චිත්‍රපටය ලෙස ගතහැකිය. බයෝපික් සිනමාව වාර්තා චිත්‍රපටයකට (ඩොකියු ඩ්‍රාමා) හෝ ඓතිහාසික චිත්‍රපටකට (හිස්ටොරිකල් ඩ්‍රාමා) වඩා වෙනස් වන්නේ තනි පුද්ගලයකුගේ ජීවිත කතාව ප්‍රස්තුත කර ගන්නා බැවිනි. අදාළ සුවිශේෂ පුද්ගලයාගේ ජීවිත කාලය හෝ සිය ජීවිතයේ වැදගත් කාලපරිච්ඡේදයක් පසුබිම් කර ගැනේ. ‘රාණි’ චිත්‍රපටයේ පිටපත දුර්වල හෝ අසම්පූර්ණ වන්නේ එම සැබෑ පුද්ගල චරිත ප්‍රමාණවත් ගවේෂණයකට ලක් කර නැති බැවිනි. ස්වර්ණා රඟපාන මනෝරාණි යනු සත්‍ය මනෝරාණි නොව ඇය විසින් වසර 27ක් සිහින මැවූ ස්වප්නමය සාවද්‍ය චරිතයක් බව මේ වනවිට හෙළිදරව් වී ඇත. එකරුණ මත මෙය ඇයගේ දුර්වල රගපෑමකි. ‘රාණි’ රංගනය වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’ චිත්‍රපටයත් වඩා ඉහළ තැනක තිබෙන බව එම රංගන ශිල්පිනියටම පවසන්නට සිදුවන්නේ ඒ බව ඇය දන්නා නිසාය. ජීවතුන් අතර නැති ජ්‍යෙෂ්ඨ සිනමාකරුවකු විසින් මෙහෙයවන ලද විශිෂ්ට රංගනයක් දෙවෙනි තැනට පහත් කොට ‘රාණි’ රංගනය ඉහළ දමන නිළිය හමුවෙහි මේ විශිෂ්ට සිනමාකරුවා යටහත්පහත් ලෙස නිහඬව සිටින්නේ වුවද මෙම දුර්වලතාව ඔහු මැනවින් දන්නා නිසා විය හැකිය. ‘රාණි’ නසරානි වනුයේ එලෙසය.
‘රාණි’ චිත්‍රපටයේ අත්‍යවශ්‍ය පුද්ගල චරිත විග්‍රහ අභිභවා පුද්ගල සැමරුම්, පුද්ගලාභිවාදන හා විකෘතීන් ප්‍රබලව ඉස්මතු වෙයි. ඇතැම් චරිත හා සිදුවීම් නිදොස් කොට නිදහස් කිරීම් මෙන්ම අතිශයෝක්තීන් ද දක්නට ලැබේ. ඒවා ඇති වන්නේ සිනමාකරුවාගේ අරමුණු මතය. රිචඩ් වැනි ප්‍රකට චරිතයක අතීත වාර්තා සහ අප්‍රකට ජීවන තොරතුරු දැනගැනීමේ අතීතකාමය සමඟ මෙම බයෝපික් චිත්‍රපටය සබැඳී තිබේ. තමා රාණි හෝ රිචඩ් ගැන චරිතාපදානයක් නොකළ බව හඳගම දැන් කියයි. එසේ නම් රාණිගේ සාරිය ස්වර්ණාට අන්දන්නේ අප ද? මනෝරාණි මෙන් නළළේ තිලකය තබන්නේ සහ සිගරැට්ටුව හා මත්පැන් වීදුරුව ඇයට දෙන්නේ අප ද? මනෝරාණි, රිචඩ්, ප්‍රේමදාස, ලලිත්, මංගල මහින්ද, ලලිත් වැනි සත්‍ය චරිත සමඟ ‘රාණි චිත්‍රපටයේ චරිත ගළපමින් නිෂ්පාදකයන් සිදු කරන පූර්ව ප්‍රචාර හමුවේ මෙම ශික්ෂිත නිර්මාණකරුවා කිසිදු විරෝධතාවක් නොපා නිශ්ශබ්දව සිටීම බරපතළ සැක මතු කරයි. මෙය තමාගේ චිත්‍රපට විලාසයෙන් වෙනස්වූවක් බව ප්‍රකාශ කර ඇත. සත්‍ය සිදුවීම් මත තමා කළ චිත්‍රපටය මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සූ බව වගකිව යුතු සිනමාවේදියකු වන හඳගම පවසයි. තමා රෝගීව සිටියදී තමන්ගේ ඇඟේ හැපුණු මෙම චිත්‍රපටය අප දකින්නේ සිය චිත්‍රපට නාමාවලියෙහි දුර්වලම සිනමා කෘතිය ලෙසයි. රාණි පමණක් නරඹා විචාර ලියන අයට සහ හඳගමගේ චිත්‍රපට ගැන පමණක් චිචාරශීලී වන අයට මින් එහා යමක් නැතිවීම පුදුමසහගත නැත.
සත්‍යය ඇසුරින් ප්‍රබන්ධ පරිකල්පනය කළ හැකිය. එවිට සත්‍යය හා මවාපෑම නිරවුල් විය යුතුය. නමුත් නොදැනුම්වත්කම, නොහික්මීම, නොසැලකිල්ල හෝ කිසියම් රෝගී තත්ත්වයක් නිසා සත්‍යය විකෘති කළ යුතු නැත. සත්‍යය පිළිබඳ සිය පුද්ගල මතය පොදු මතය බවට ප්‍රසිද්ධ කළ යුතු ද නැත. එවිට සිදු වන්නේ සත්‍යය විකෘති වීමක් මිස ප්‍රබන්ධ වීමක් නොවේ. ‘රාණි’ යනු සත්‍යය ඇසුරින් ගොඩනඟන ලද ප්‍රබන්ධයක්ය යන හතරබීරි කතාව පළමුව අපට කියා ඇඟ බේරා ගන්නට මෙම කෘතහස්ත සිනමාකරුවාට සිදුවන්නේ එබැවිනි. හඳගම පමණක් මහා සිනමාකරුවා ලෙස වන්දනාමාන කරන විචාරකයන්, වහා ඔහු බේරාගැනීම සඳහා ෆේස්බුක්ගත වනු ඇත.
මනෝරාණි ගැන විවිධ අය, විවිධ කතා කියා ඇති අතරේ අශෝකට ද කියන්නට කතාවක් තිබෙන්නට පුළුවන. එය ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියකි. මෙය රිචඩ් ගැන සහ මනෝරාණි ගැන තමාගේ කතාව වන බැවින් මෙය ප්‍රබන්ධයක් බව සිනමාකරුවා ප්‍රකාශ කර තිබේ. එසේ නම් මෙය සත්‍ය කතාව නොවේ. නිර්මාණකරුවා තම පරිකල්පන බලපත්‍රය මත ප්‍රසිද්ධ කරන තම මනෝගතයයි. එසේ නම් මෙය මවාපෑමක් බව සිතන්නට ඔහුම ඉඩ නොතබන්නේ ඇයි? යම් සිදුවීමකින්, යම් වරදකරුවකු නිදොස් කොට නිදහස් කරන්නට මෙම සිනමාකරුවාට ඉහළින් බලපෑමක් ආවේ ද? එවන් අහවලුන්ට ඔහු යටහත්පහත් වන්නේදැයි ‘රාණි’ අවසන් ජවනිකාව තෙක් නිවහල්ව බලා සිටින්නකුට වැටහෙයි.
සත්‍යය තිබියදී නිර්මාණකරුවා තම ප්‍රබන්ධය සත්‍යයක් සේ හඟවන්නේ කුමන යටි අරමුණකින් ද? සත්‍ය චරිතවලට සමාන ස්වරූප ඇති නළුනිළියන් ගැනීමෙන් සිනමාකරුවා පෙළඹෙන්නේ තමාගේ මේ මවාපෑම සත්‍යයක් සේ ඒත්තු ගන්වන්නටය.
කල්පිතයෙන් සත්‍යය දැකීම කලාව වුවද සත්‍යය සෙවීම පොලීසියට අයත් වැඩිදුර පරීක්ෂණයකි.
මෙහි I කොටස පෙබරවාරි 28දා 16 පිටුවේ පළවිය